" කුහකත්වය සමඟින් එකට මුසු වුණ අවස්ථාවාදීත්වය"




ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ 1931 සිට ය.නිදහස් අධ්‍යාපනය ලැබුණේ 1946න් අනතුවය.එදා මෙදා තුළ ශ්‍රී ලංකාවේ සර්ව ජන ඡන්ද බලය සහ නිදහස් අධ්‍යාපනික උරුමය නිසා සමාජයේ කටුකත්වයේ සිට සාර්ථකත්වයේ හිනි පෙත්තටම ළඟා වීමට බහුතරයක් වූ පොදු මහජනතාවට හැකිවිය.

1931 දී මෙරට ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලබා දෙන අවස්ථාවේදී බමුණුකුල පැළැන්තියේ ප්‍රභූ යයි සම්මත පවුල් වල උදවිය විරුද්ධ වූයේ 'මෙරට ජනතාවට ඡන්දය භාවිතා කිරීමට තරම් තර්කන බුද්ධියක් නොමැති බව' පවසමිනි.

නිදහස් අධ්‍යාපනය ආඥා පනත ගෙන ඒමට කැප වීම් සිදු කරමින් ක්‍රියා කළ සී.ඩ්බ්.ඩ්බ්.කන්නන්ගර මහතාව 1947 මැතිවරණයේ දී 'මතුගම ආසනයෙන්' පරාජයට පත් කරවීමට පවා ද ධනේෂ්වර යැයි සම්මත එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ සමාජවාදී යැයි සම්මත ලංකා සමසමාජ පක්ෂයේ පිරිස් එක්ව කුමන්ත්‍රණයක් දියත් කරමින් විල්මට් ඒ. පෙරේරා මහතාව 'මතුගම ආසනයෙන්' ජයග්‍රහනය කරවීම මීට හොඳම නිදසුනයි.

අපි විසින් හඳුනාගත යුතු සත්‍යයක් නම් මතුපිටින් පෙනෙන සියලු දෙයම යතාර්ථය නොවන බවයි.පෙනුමෙන් සමාජවාදී වුවද,පෙනුමෙන් රැඩිකල් වුවද බොහෝ ක්‍රියාකාරීත්වයන් අවසානයේ පෙනී සිට ඇත්තේ සැබැවින්ම ජනතා වුවමනාවන් වෙනුවෙන් නොවේ.

වර්තමානයේ 'යහපාලන ආණ්ඩුව' විසින් කෙතරම් ඔවුන් තුළ අඩුපාඩු පැවතුණද ජනතාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් නෛතික ව්‍යවස්ථාමය ප්‍රතිකර්මයන් ගෙන එමින් පවතී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධුරයට තිබූ අතිශය නොමනා බලතල රැසක් කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභාවන් කිහිපයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය උදෙසා පිහිටුවනු ලැබීය.

එහි දිගුවක් ලෙස 'අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක්' ශ්‍රී ලාංකීය යාන්ත්‍රණය තුළ පිහිටුවා 1970,1983,1987-1989,1995-1997,2007-2009 යන කාල වකවානු තුළ දී අතුරුදන් වූ තැනැත්තන්ට සිදු වූයේ කුමක්ද?ඔවුන්ගේ මළ සිරුරු ඇතිනම් ඒ පිළිබඳව වන විස්තර සහ වින්දිතයන්ට හානි පූර්ණය සඳහා වන වන්දි ලබා දීම , ඔවුන්ගේ ආර්ථිකය සහ සමාජයීය මානසික ශක්තිය වර්ධනය කරවීමට උදවු වීම මේ මඟින් සිදු වේ.

නමුත්,අවස්ථාවාදී දේශපාලුවන් කණ්ඩායමක් විසින් 2009 යුද්ධය ජයග්‍රහනය කරවීමට නායකත්වය ලබා දුන් හමුදාවන්හි සාමාජිකයින් මෙමඟින් ජාත්‍යන්තර යුද්ධ අධිකරණයට ගෙන යන බව පවසමින් භික්ෂූන් වහන්සේලාගේ චීවර යට අවස්ථාවාදී දේශපාලනයක් සිදු කරමින් තිබීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම අවාසනාවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නව පනතක් ගෙන එමින් ඒ මඟින් කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සහ කාන්තා නියෝජනය අනිවාර්යයෙන් 25%ක් සහතික කිරීම තුළින් බිම් මට්ටමේ කාන්තාව සවිබල ගැන්වීමටත් 'යහපාලන ආණ්ඩුව' ක්‍රියා කර තිබේ.නමුත් මීට එරෙහිවත් අවස්ථාවාදී දේශපාලුවන් කණ්ඩායමක් විසින් කාන්තාවන්ට සළකන්නේ 25% කියමින් සමච්ඡලයට ලක් කරමින් යයි.ඔවුන් විසින් පාලන බලය හොඹවන කාලයේදී 25%ක් තබා එක් කාන්තා නියෝජනයකටවත් බොහෝ පළාත් පාලන ආය්තන වලට සභිකයින් ලෙස පිවිසීමට ඉඩක් ලබා දුන්නේද?හෘද සක්ෂියෙන්ම ඇසිය යුතු කරුණකි.

ග්‍රාම , සමෘද්ධි , පොලිස් , කෘෂිකර්ම නිලධාරි වැනි ක්ෂේත්‍ර රාජකාරීන්හි නියැලෙන රජයේ නිලධාරීන්ට ආසන්න අවුරුදු 01ක් තුළ තමන්ට අදාළ කොට්ඨාශයෙන් මැතිවරණයට තරඟ කිරීමට නොහැකි වන ලෙස නීති සකස් කිරීම අතිශය කාලෝචිතය.එලෙස ඔවුන් සීමිත කොට්ඨාශයක් තුළ තම රජයේ නිලධාරී භූමිකාවේ බලය භාවිතා කරමින් මැතිවරණ වලට තරඟ කරන විට තරුණ නියෝජ්නයක් මතු වීමට බාධා පැමිණේ.

නමුත්,සමහර අවස්ථාවාදී දේශපාලුවන් මෙය විකෘති කරමින් සදාකල් රජයේ සේවකයින්ට මැතිවරණ වලට තරඟ කළ නොහැකි බව පවසමින් ජනතාව නොමඟ යවයි.

ශ්‍රී ලංකාව තුළ සිංහල,දෙමළ,මුස්ලිම් සහ වෙනත් සුළු ජන කණ්ඩායම් වලටත් සතුටින් එකට ජීවත් විය හැකි පරිසරයක් නීතියෙන්ම සකස් කර දීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරිමාණය වෙමින් පවතී.ඒ සඳහා ජනතා අදහස් ද උපයෝගී කරගනී.වර්තමානයේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව යොදාගෙන එම ක්‍රියාවලියටත් එරෙහිව චීවර යට මුවාවෙමින් දේශපාලනය කරනා අවස්ථාවාදී දේශපාලුවන් වැරදි මත පතුරුවාලමින් සමාජය කුපිත කරවමින් සිටී.

මේ අවස්ථාදී දේශපාලුවන්ගේ ස්වභාවයයි.මීට සමඟාමී කුහක ශිෂ්‍ය ව්‍යාපාරයක් අවස්ථාවාදී ඊනියා සමාජවාදී යැයි කියාගන්නා දේශපාලන පක්ෂයක් වටා ගොණු වී පවතී.

පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ සංවත්සර සැමරුම වෙනුවෙන් 'විද්‍යා' නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි.මේ සඳහා එම ශිෂ්‍යයින් විසින් බස් , දුම්රිය මඟීන්ට කරදර කරමින් මුදල් හිඟා නොකා අනුග්‍රාහකයින් ඔවුන්ගේම මහන්සියෙන් සොයාගෙන රාජ්‍ය අංශයේද සහාය ලබා ගෙන සියලු ප්‍රතිපාදන ලබා ගෙන තිබුණි.

එහෙත් නොසිතූ ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සුවච කීකරු මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් විසින් 'විද්‍යා' අධ්‍යාපනික ප්‍රදර්ශනයට එරෙහිව ඔවුන් තුළ වන 1987-1989 ප්‍රචණ්ඩත්වය මුදා හැර තිබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු, ජන පදනමක් ලබා ගැනීමට අසමත් අඩුම තරමේ මැයි 01 ජාත්‍යන්තර කම්කරු දිනයේදී රැස්වීමක් සංවිධානය කර ගැනීමට අසමත් ඊනියා සමාජවාදී පක්ෂයකි.ඔවුන් විසින් ඒ සඳහා කැලණිය,පාලි හා බෞද්ධ,ජ'පුර,ශ්‍රී'පාලි,සෞන්දර්යය,රුහුණ,රජරට යන විශ්වවිද්‍යාල සහ මණ්ඩපයන්හි ඊනියා මහා ශිෂ්‍ය සංගම්වල සහාය බලහත්කාරකමෙන් බොරු පොරොන්දු ලබා දෙමින් ලබා ගනී.

මෙම මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් බහුතරය නවක වදය අමානුශික ආකරයෙන් ලබා දීමේ ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයින්ය.මොවුන් විසින් විශ්වවිද්‍යාල තුළ පුස්තකාල පරිශීලනයට පවා පළමු වසරේ නවක ශිෂ්‍යයොන්ට තහංචි පැනවීමක් අන්‍යාකාරයෙන් පවා සිදු කරයි.මහාචාර්ය , ආචාර්ය වරුන් සමඟ වෛරී චේතනාවක් නවක ශිෂ්‍යයින් තුළ මොවුන් විසින් ඇති කරවයි.

එමෙන්ම සෑම විශ්වවිද්‍යාල සහ මණ්ඩපයක් තුළම නවක ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණි විගස නවක ශිෂ්‍යයින්ට දේශන සඳහා යාමට ඉඩ ලබා නොදෙමින් උද්ඝෝෂණ , මුදල් රැස් කිරීමේ කැට ව්‍යාපාර සඳහා නවක ශිෂ්‍යයින්ව බිය ගන්වා අනාරක්ෂිතව මහමඟට යොමු කරවීමේ වැඩසටහන් පවා මෙහෙයවයි.

පාසල් කාලය තුළදී කිසිදු දක්ෂතාවයක් දැක්වීමට අසමත්ව සිට ටියුෂන් ගුරුවරුන්ගේ පිහිටෙන් විශ්වවිද්‍යාල ප්‍රවේෂය ලබා ගෙන ඇකඩමියාවට වෛර කරමින් අන්තරය මෙහෙයවන ශිෂ්‍ය සංගම් වල නියෝජිතයන් වී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කුහකත්වය සහ වෛරය වැපිරවීම පමණක් මෙම ශිෂ්‍ය සංගම් තුළින් සිදු වේ.මොවුන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට තර්ජනාත්මක ක්‍රියා අනුගමනය කරමින් දිනෙන් දිනම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වලින් පහළටම ඇඳ දමයි.

බොහෝ විට මොවුන්ගේ මෙම කුහකත්වයේ ක්‍රියාකාරකම් තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරහා පිටුපසින් සිට මෙහෙයවන්නේ ඉහතින් සඳහන් කළ අවස්ථාවාදී චීවර යට දේශාපාලනයම ය.ආණ්ඩුව විසින් වහාම මෙය සොයා බලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සම්මුතිය ඇති කිරීමට කටයුතු කළ යුතු ය.






* ඡායාරූපය උපුටා ගැනීම ෆේස් බුක් සමාජ ජාලයෙනි.



නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.






Share on Google Plus