රනිල්ගේ බැඳුමිකර කමිටුව හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

බැඳුම්කර වංචාවට එජාපයේ මන්ත්‍රිවරු හවුල් දැයි සෙවීමට සුප්‍රකට ඇවන්ගාඩ් ගනුදෙනුවට චෝදනා ලැබූ එජාප තිලක් මාරපන පත්කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.
තිලක් මාරපනගේ සහෝදරයා වන ගාමිණී මාරපන අර්ජුන් ඇලෝසියස්ගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි බව පවසන මන්ත්‍රිවරයා අගමැතිවරයා කලින් පත් කළ පිටිපන වාර්තාවට හපන් වාර්තාවක් තිලක් මාරපන කමිටුවෙන් දැක ගත හැකි වනු ඇති බවය.
චෝදනා ලැබූ තිලක් මාරපන වැනි පුද්ගලයන් වෙනුවට නීති ක්‍ෂේත්‍රයේ හා ඊට අදාළ දැනුවත් ක්‍ෂේත්‍රවල විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කර බැඳුම්කර වංචාවට අදාළ වාර්තාවක් සැකසිය යුතු බවද හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි. මන්ත්‍රිවරයා කීවේ මේ බව පැවැසුවේ පසුගියදා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ඔහු මෙසේද පැවැසීය.
තමන්ගේ නායකයා වන රනිල් වික්‍රමසිංහ පිරිසුදුයි, නිවැරැදියි කියලා යූ.එන්.පී. මන්ත්‍රිලා කියනවා නම් ඒ අයට වෙන්නෙත් අර ගලේ පහරපු බළලට වෙන දේ. රනිල් වික්‍රමසිංහ මුළු එජාපයේම විතරක් නෙවේ රට පුරාම ගලේ පහරපු බළලා වගේ අසූචි තවරලා. එජාප පාක්ෂිකයන්ට මේක ලොකු අපකීර්තියක්.
එදා කෝප් කමිටුවේ නිගමන, නිර්දේශ වැරැදියි ඉවත් කරගන්න කියලා එක එක නීති තර්ක දැම්මා. ෆුට් නෝට් දැම්මා. අවසානෙට තේරුණේ ඒ තර්ක දැම්මේ ඇලෝසියස්ගෙ සල්ලිවලට කියලා. එදා මං කෝප් කමිටුවෙන් නැඟිටලා ගියේ වැසිකිළියට යන්න නෙවේ. මේක යට ගැහුවා නම් අද මොකද වෙන්නෙ?
අවුරුද්දයි මාස 3ක් යනකම් කෝප් වාර්තාව මේසෙ උඩ තියාගෙන හිටපු නීතිපතිවරයා මේ කොමිෂන් වාර්තාවට නිර්දේශ එවයිද?
ජනාධිපතිවරයා කිව්වා රටේ දූෂිතයන් අවීචි මහා නරකාදියට යවලා තමයි නවතින්නෙ කියලා. එහෙම නම් එතුමා ජනාධිපති පුටුවෙන් යන්න බලාගෙන නෙමේ මේ ප්‍රකාශය කෙරුවේ. මොකද ජීවිතේට ඔය කියන හොරු අවීචි මහා නරකාදියට යවන්න වෙන්නෙ නෑ. අපි එතුමාට කියන්නෙ යම රජ්ජුරුවන්ගෙ වැඩේ භාරගන්න එක පැත්තකින් තියලා දූෂිතයන්ට දඬුවම් දෙන්න පටන් ගන්න කියලා. ඒ වගේම ඔහු කිව්වා මේ යන්නෙ ඔපරේෂන් - 2 කියලා. එතකොට ඔපරේෂන් -1 වලින් කාටද දඬුවම් දුන්නේ. ඔපරේෂන් 2 වලට කලින් ඔපරේෂන් - 1 ඉවර කරන්න ඕනෑ. මොකද වාර්තා විතරක් වැඩක් නෑ.
ඒ වගේම ජනාධිපතිගේ දේශපාලන වේදිකාවල කරන කතාවලින් රටේ මිනිස්සුන්ට වැඩක් නෑ. මහබැංකු බැඳුම්කර වංචාවේ කොමිෂන් වාර්තාවේ බරට ඇති දඬුවම් දෙන්න. මේකට විධිමත් ක්‍රියාමාර්ග ඕනෑ.
මේ වාර්තාවේ පැහැදිලිව තියනවා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම වැරැදියි කියලා. නමුත් ජනපතිගේ ප්‍රකාශයේ තිබුණේ පත් කිරීම විධිමත් කියලා. ඒ ගැන මේ වාර්තාවේ කොහෙවත් සඳහන් නෑ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මොකක් වුණත් අර්ජුන මහේන්ද්‍රන් පත් කරන්න අස්සන් කළේ මෛත්‍රිපාල මහතා.
කොහොම කිව්වත් අපට පැහැදිලි වන එකම කාරණය තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය මේකට ඍජුව සම්බන්ධ බව. එය දිගින් දිගටම ඔප්පු වුණා. 2015 මාර්තු 17 රනිල් වික්‍රමසිංහ කරපු ප්‍රකාශය නැවත විකාශය කර බලන්න කියලා මං ඉල්ලනවා. ඒකෙදි කියනවා ඔහු අනෙක් අයගෙ හොර එළියට ආවේ නැති වුණාට අපේ හොර එළියට එනවා කියලා. එදාම අගමැති පිළිගත්තා තමන්ගෙ පක්ෂය හොරකම් කරලා කියලා.
කෝප් කමිටු පරීක්ෂණ යන වේලාවෙත් අගමැතිට ඕනෑ වුණේ අර්ජුන මහේන්ද්‍රන් අධිපතිකමේ තියාගන්න.
කෝප් කමිටුවේ වේළුකුමාර අයින් කරලා එජාපයෙ බැඳුම්කර පොත් ගහපු සුජීව සේනසිංහ පත් කෙරුවා. කෝප් කමිටුවට විශාල බලපෑම් එල්ල වුණා. මේ කමිටුව බාධා මැද හරි වාර්තාව ඉදිරිපත් නොවුණා නම් රටේ තත්ත්වය කොහොම වෙයිද? එහෙනම් ජනපතිගේ කඩුව වනන්න වෙන්නෙ නෑ. මෙය සමස්ත සුදු කරපටි අපරාධයට එජාපය වගකියන්න ඕනෑ. මේ වංචාවට ඡ්ඊජ් එකට රුපියල් කෝටි 1114ක මූල්‍ය ප්‍රවාහයක් හදාගෙන. අගමැති කියනවා අපි ළඟ බිලියන 12ක් තියෙනවා, වෙච්ච පාඩුව බිලියන 9.5ක් අපි ඒ බිලියන 12න් ඒක ගෙවනවා කියලා. මේක රටේ අනෙක් හොරුන්ට පූර්වාදර්ශයක්. එතකොට රටේ ඉහළ ගිය පොලී අනුපාතය එයින් අමාරුවෙ වැටුණු ජනතාවගේ සල්ලි ගෙවන්නේ අගමැති අරලියගහ මන්දිරයෙන්ද?
කොල්ල කල්ලිය කෝටි 1114ක් ඉපැයුවා. අවුරුදු 30ක් යනතුරු මේක උඩට මතු නොවුණා නම් මතක තියාගන්න ඇලෝසියස් තවත් බැඳුම්කර ගන්නවා. හීනෙන්වත් හිතන්න වෙන්න එපා මේ වගේ දේවල්.
මේ වංචාව හෙළි කරන්න විශාල කාර්යභාරයක් කළ මාධ්‍යට අපි ස්තුතිවන්ත වෙනවා. අපි සෑහීමකට පත් වෙන්නේ වැරැදිකරුවන්ට දඬුවම් දීලා මුදල් නැවත ජනතාව අතට පත්වීමෙන් පසුව පමණයි.
අනුරාධා හේරත්
Share on Google Plus