බැඳුම්කර හා බරපතළ අපරාධ විමර්ශන වාර්තා සභාගත කිරීම අද පස්වරුවේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂණ් වාර්තාව සහ බරපතළ අපරාධ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙක අද සභාගත කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ විමර්ශන වාර්තාවල පිටපත් සියලු මන්ත්‍රීවරුන්ට අද දිනයේ ලබාදීමට අපේක්ෂා කරන බවයි.
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිතයි.
විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් විවාදය ගැනීම පිළිබඳ තීරණය හෙට දිනයේ පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ රැස්විමෙන් අනතුරුව ගැනිමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ(22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් විය.

කතානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේ දී බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ විවාදය පවත්වන දිනය පිළිබඳ සාකච්ඡා වී තිබේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී යළි පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සඳහන් කළේය.

පෙබරවාරි මස 10 වන දිනට පෙර අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්විය යුතු බවට විපක්ෂය වශයෙන් යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් සඳහන් කළේය.

මේ අතර හෙට(24) දිනයේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක සඳහන් කළේය.
Share on Google Plus