ලසන්ත මැරූ දේශපාලන සහ මළකදත් විකුණූ දේශපාලනය

ලංකාවේ මාධ්‍ය නිදහසට කළු පැල්ලමක් එක් කරමින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහපාරේ, මහ දවාලේ අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ හරියටම අදට වසර 09කට පෙර ය. 
ඔහු මිය යන බව තහවුරු විය යුතු නිසා ඔහුට වෙඩි තබන්නට පාවිච්චි කළේ අති ප්‍රබල ගිනි අවියක් බව සනාථ වී තිබේ. 
විමර්ශනයට දැන් වසර ගණනකි. ලංකාවේ බොහෝ විමර්ශන මෙන්ම මේ විමර්ශනය ද පැවැත්වෙන්නේ ඉබි ගමනිනි. විමර්ශනය අවසන් වන විට වරද කළ කෙනෙක් නැති වන්නට පවා ඉඩ තිබේ.
මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ලක්වී අදට වසර 09ක් ගත වූවත් එම ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඝාතකයන් ආරක්ෂා කිරිමක් සිදුවනවාද යන්න පිළිබඳව ප්‍රශ්න පැන නගින බවයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.
අදාළ ඝානයෙන්  මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් වෙත මෙතෙක් සාධාරණයක් ඉටු නොවු බවද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දී ඇත.
එම නිසා එම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කළ යුතු බවද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යනු නිර්භීත මාධ්‍යවේදියෙකු බව පෙන්වා දෙන අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් සිය ට්වීටරය මගින් මේ බව සඳහන් කර තිබුණි.
ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් සාධාරණය අපේක්ෂාවෙන් සිටින බවත් රජයක් වශයෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකර ඔහුගේ පවුල වෙත සාධාරණය ඉටුකර දීමට ශ්‍රීලංකා රජය කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වී අදට වසර 09ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේ පිහිටි ඔහුගේ සොහොනට ගොස් පුෂ්පෝපහාර දැක්වූ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් ඉන් අනතුරුවයි සිය නිල ට්වීටරය මගින් මෙම ඉල්ලීම කර තිබෙන්නේ.
2015 වසරේ දී පැරිසියේ චාලි හෙබ්දෝ ප්‍රධාන පුවත්පත් කාර්යාලයට කඩා වැදුණු ඉස්ලාමීය අන්තවාදී ප්‍රහරකයෝ එහි සේවය කරමින් සිටි පුවත්පත් කලාවේදීන් 12 දෙනෙක් මරා දැමූහ. චාලි හෙබ්දෝ පුවත්පත, උපහාසයෙන් යුතුව ආගමික අන්තවාදය සහ ආගමික ආධිපත්‍යය හෙළා දුටු සතිපතා කාටුන් පුවත්පතකි. එවිට මාධ්‍යවේදීන් මරා දැමීම සඳහා කළ වරද වූයේ දෙවියන්ට අපහාස වන සේ කාටුන් පළ කිරීමයි. දේවාපහාසය, මරණයෙන් වන්දි ගෙවිය යුතු වරදක් ලෙස අන්තවාදය සලකයි.
චාලි හෙබ්දෝ සංහාරයේ තුන්වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ “ සංවිධානය පෙන්වා දෙන්නේ ගතවූ වර්ෂවල දේවාපහාසය පිළිබඳ චෝදනා නගමින් මාධ්‍යවේදීන් මර්දනය කිරීම සහ මරා දැමීම ඉහළ ගොස් තිබෙන බවයි.
මාධ්‍යවේදීන් මරා දැමිය යුතු බවට සමාජ ජාල ඔස්සේ ඇතැම් පුද්ගලයන්ගෙන් නැගෙන හඬ ද මෙහිදී කැපී පෙනෙයි. පැරිසියේ චාලි හෙබ්දෝ පුවත්පත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාර එල්ල වූ විට සමාජ ජාල හරහා, දේවාපහාසයේ යෙදෙන මාධ්‍යවේදීන් තව තවත් මරා දැමිය යුතු යැයි විශාල රැල්ලක් නැගී ආවේය. බංග්ලාදේශයේ බෝර කගාත් නමැති දිනපතා පුවත්පතේ කතුවරයා වන ශ්‍යාම්ලාල් දත්තා ඔහුගේ කර්තෘ මණ්ඩලයත් සමගම එල්ලා මරා දැමිය යුතු යැයි ජනතාව හඬ නගන්නට පටන් ගත්තේ බංග්ලාදේශ රජය විසින් ප්‍රකාශනයට පත් කළ හදිත් හෙවත් මහම්මුද්තුමාගේ කියමන් ඇතුළත් පොතක අන්තර්ගතය විවේචනය කරමින් ලිපියක් පළ කළ නිසා ය.
පාකිස්ථානයේ මෙන්ම බංග්ලාදේශයේ ද බ්ලොග්කරුවන් සහ මාධ්‍යවේදීන් තවමත් ඝාතනය වෙති. 2015 වසරේදී බංග්ලාදේශ බ්ලොග්කරුවන් 3 දෙනෙක් ඝාතනය කරන ලදී. 2017 ජනවාරි 7 වැනිදා, එනම් මෙයට හරියටම අවුරුද්දකට පෙර පාකිස්ථාන බ්ලොග්කරුවෙකු වූ ෂමාර් අබ්බාස් අතුරුදහන් විය. ඔහු, පාකිස්ථානයේ සිවිල් ප්‍රගතිශීලී සන්ධානයේ නිර්මාතෘවරයා ය. මෙම සංවිධානය ආගමික නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ලිපි පළ කිරීමේ නියැළී සිටියේය. පාකිස්ථානයේ තවත් බ්ලොග්කරුවන් සිව්දෙනෙක් ද පසුගිය සමයේ මේ අන්දමින්ම පැහැර ගැනීමට ලක් විය.
මෙම අතුරුදන්වීම්වලින් පසු එකවරම අන්තර්ජාලය හරහා පැතිර ගියේ මෙම බ්ලොග්කරුවන් අල්ලා දෙවියන්ට අපහාස කළ බවට ප්‍රචාරයකි. දේවාපහාසය නමැති එම වරදට මේ රටවල ඉස්ලාම් නීතිය අනුව දඬුවම මරණයයි. සති කිහිපයකට පසුව එම බ්ලොග්කරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙක් නිදහස් කෙරිණි. නමුත් ඔවුන් ද තමන් ව පැහැරගත් අය හඳුනාගැනීමට තරම් නිර්භීත වූයේ නැත.
2017 වසර මුල වන විට, මේ ආකාරයේ දේවාපහාසය අපරාධ වරදක් වශයෙන් සලකන රටවල් 71 ක් දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. ඒ බව සඳහන් වන්නේ අන්තර්ජාතික ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක ය. එතැන් පටන් අද දක්වා කාලය වන විට දේවාපහාසය අපරාධ වරදක් නොවන ලෙසට සිය රටේ නීති වෙනස් කර ගත්තේ ඩෙන්මාර්කය පමණි. ඒ 2017 ජූලි මාසයේ ය. මේ අතර මව්රිටානියාව වැනි ඇතැම් රටවල්, දේවාපහාසය සඳහා පවතින නීති තව තවත් දැඩි කිරීමට කටයුතු කර තිබේ. 2016 නොවැම්බර් 16 වැනිදා මව්රිෂස් ආණ්ඩුව විසින් සම්මත කළ සංශෝධනය අනුව නව නීතිය වන්නේ අල්ලා දෙවියන් හෝ ඔහුගේ පණිවුඩකරු වන මහම්මුද්තුමාට කිසිදු හෝ අපහාසයක් සිදුකරන්නේ නම් එම තැනැත්තා මරණයෙන් දඬුවම් විඳිය යුතුය යන්නයි.
2014 වසරේ දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පිරිනැමූ පුවත්පත් නිදහස පිළිබඳ සම්මානය දිනාගත් රයිප් බදාවි මේ ගත කරන්නේ බන්ධනාගාරයේ පස්වැනි අවුරුද්දයි. ඔහු කර තිබූ වරද වූයේ අන්තර්ජාල සංවාදයකදී ආගමික පොලිසියේ හැසිරීම විවේචනය කිරීමයි. ඔහුට ලැබුණු දණ්ඩනය වූයේ දස අවුරුද්දකට සිර ගත කිරීම, සිරෙන් නිදහස් වී දස අවුරුද්දක් යන තෙක් ද රටෙන් පිටවීම තහනම් කිරීම, කස පහර 1000 ක් සහ රියාද් මිලියනයක දඩ මුදලකි!
ලංකාවේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ පුරෝගාමියෙකු වූ ලසන්ත අසීරු මගක ගිය ප්‍රථමයා නොවේ. ඒ ලැයිස්තුව ලැජ්ජාසහගත ලෙස ඉතා දිගු ය. එනිසා ලසන්ත යනු අන්තිමයා ද නොවිය හැකිය. මෙවැනි ඝාතනවලදී ලංකාවේ ද දැකිය හැකි පොදු සංරචක වශයෙන් ‘‘ඕකුන් කොටින්ට උදව් කළා..“ ‘එන්ජීඕ කාරයෝ..“ ඩොලර් කාක්කො“ වැනි ප්‍රචාර, දේශසීමා රහිත මාධ්‍යෙව්දීන් විසින් පෙර කී රටවලදී හඳුනාගන්නා පරිදිම අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා අපට දැකගත හැකිය. ඒවා විසින් මෙම ඝාතනවලට පොදු ජන මතයක් ආරූඪ කරන්නට තැත් කරනු ලැබේ. ජන රැල්ල සහ ජනමතය තැනීම සඳහා කුලී කරුවන් යොදවා හෝ සමාජජාල පාවිච්චි කිරීම මෑතභාගයේ ආසියාව අත්දකින අලුත්ම ප්‍රචාරණ විධික්‍රමයකි.
ලංකාවේ දේවාපහාස නීති නැතැයි ඔබ කියන්නට පුළුවන. නමුත් දෙයියන්නාන්සේ කෙනෙක් හා සහෝදර දේව මණ්ඩලයක් විසින් ලංකාව පාලනය කළ මෑත කාලීන රජ සමයක් තිබිණි. ලසන්ත අවසාන වශයෙන් ජීවත් වූයේ ද ඉක්බිති ඝාතනය වූයේ එවැනි කාලයකදී ය. ඒ අනුව බලන විට ලංකාවේ ද දේවාපහාසය යනු මරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් යැයි කෙනෙකුට තර්ක කරන්නට පුළුවන.

Share on Google Plus