නොරොච්චෝල බලාගාරයේ පරිසර බලපත්‍රය දීර්ඝ කිරීම අත්හිටුවයි

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා මේ වන විට වලංගු පරිසර බලපත්‍රයක් නැතැයි අනාවරණය වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදූව පැවසුවේ, මුල් බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසුව එය දීර්ඝ නොකළ බව ය.
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර 3ක් මගින් ගල්අඟුරු භාවිත කරමින් ජාතික පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් එක් කරන විදුලි බලාගාරයකි.
මෙවැනි බලාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර බලපත්‍රය අත්‍යවශ්‍ය වන අතර ඒ මගින් පරිසරයට වන බලපෑම අවම කිරීමට හැකියාව ලැබේ.
නමුත් නොරොච්චෝලේ බලාගාරය මේ වන විට ක්‍රියාත්මක වන්නේ, එම බලපත්‍රය නොමැතිව ය.
බලාගාරයෙන් නිකුත් වන අළු විශාල ප්‍රදේශයක පැතිර යාම නිසා විවිධ රෝගාබාධ වාර්තා වන අතර වගා බිම්වලට ද දැඩි හානි සිදුවී තිබේ.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස නොරොච්චෝලේ බලාගාරයේ ප්‍රේරණ ප්‍රදේශය තවදුරටත් පුළුල් කිරීමේ යෝජනාවක් ද පසුගිය දිනවල ඉදිරිපත් විය.
මේ අතර බලාගාරයේ සේවකයින් වෙනුවෙන් සියලු ම ඉංජිනේරුවන් අත්සන් කර පසුගිය වසරේ ජුනි 26 වන දා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට යොමු කළ ලිපියක මෙහි බරපතලකම දැඩිව අවධාරණය කර තිබිණි.
එහි සඳහන් කර තිබුණේ, මෙම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වන විට එක් දිනකදී ගල්අඟුරු දහනය නිසා සැහැල්ලු අලු මෙට්‍රික්ටොන් 1000ක් පිට කරන බව ය.
බර අළු මෙට්‍රික්ටොන් 100ක් ද මෙම බලාගාරයෙන් එක් දිනකට මුදා හැරේ.
ඉංජිනේරුවන් සිය ලිපියේ පෙන්වා දෙන්නේ, ගල්අඟුරු දහනයෙන් පිටවන අළුවල ගුණාත්මක තත්ත්වය අනුව සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගැණුන ද බොහෝ අවස්ථාවල නොරොච්චෝලේ බලාගාරයේ පිටවන අළු ඒ සඳහා සුදුසු නොවන බව ය.
මේ නිසා ආසනික් වැනි විෂ රසායන අඩංගු මේ අළු වැඩි ප්‍රමාණයක් බලාගාර පරිශ්‍රයේ ගොඩගසා තැබීම නිසා සේවකයින් බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී ඇතැයි ඔවුන් පෙන්වා දී තිබිණි.
දුහුවිලි සහ අළු නිසා ඇති වන අපහසුතාවයන් අවම කිරීම සඳහා විශේෂඥ සහය ලබාගෙන ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඔවුන් කළ යෝජනාව තවමත් ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නොමැත.
පාරිසරික ප්‍රශ්නවලට අමතරව මෙම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ දිනවල අක්‍රිය වී තිබේ.
මේ අයුරින් අවස්ථා 40කට වැඩි ප්‍රමාණයක් බලාගාරය ආරම්භ කළ දිනයේ සිට මෙම ජනන යන්ත්‍ර අක්‍රිය වී තිබේ.
ගල්අඟුරු බලාගාරවලින් සිදුවන අහිතකර විපාක මෙලෙස අත්විඳිමින් සිටියදී තවත් බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට පසුගිය සමයේ යෝජනා විය.‍ෙ
පසුව ආණ්ඩුව ප්‍රකාශ කළේ, ගල්අඟුරු බලාගාර වෙනුවට ස්වභාවික ද්‍රව වායු නැතහොත් එල්.එන්.ජී වැනි අවම පාරිසරික බලපෑමක් ඇති බලාගාර හඳුන්වා දෙන බව ය.
එහෙත් එම ප්‍රතිපත්තිය වෙනුවට යළිත් ත්‍රිකුණාමලයේ සහ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාර 2ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.
රංජිත් සියඹලාපිටිය හා සරත් අමුණුගම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පසුව ප්‍රතික්ෂේප වුවත් ඇතැම් පිරිස් තවමත් ගල්අඟුරු ප්‍රචලිත කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටියි.
ක්ලීන් කෝල් නමැති තාක්ෂණය යොදා ගෙන මෙම බලාගාර ඉදිකරන බවට යෝජනා වුවත් මේ තාක්ෂණික ක්‍රමවේදය තවමත් පවතින්නේ අත්හදා බැලීමේ මට්ටමක ය.
යුරෝපීය රටවල් මෙන් ම ජපානය සහ චීනය පවා මේ වන විට ගල්අඟුරු භාවිතය ක්‍රමයෙන් අත්හරිමින් සිටින අතර ඔවුන් ඉවත් කරන බලාගාර අප වැනි රටවලට අලෙවි කිරීමට උනන්දු වෙමින් සිටින බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.
අහිතකර විපාක අත්විඳිමින් සිටියදී ගල්අඟුරු මෙරට ප්‍රචලිත කිරීමට වුවමනාව ඇති ඇමතිවරුන් මෙන් ම ලේකම්වරුන් ද පසුගිය සමයේ අනාවරණය විය.
පරිසර අමාත්‍යංශය වත්මන් ජනාධිපතිවරයාගේ යටතේ ඇති විෂයකි.
රාජ්‍ය ප්‍රතිපත්තිය ඉක්මවා යමින් විවිධ යෝජනා ගෙන එන ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ අවශ්‍යතාව මුදල් ලාභ විය නොහැකි ද?
Share on Google Plus