“අර්ජුණ මහේන්ද්‍රන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි” – නීතිපති

බැඳුම්කර විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසු චෝදනා ගොනු කිරීම ආරම්භ කරන බව නීතිපති ජයන්ත ජයසුරීය පවසා ඇතැයි වාර්තාවේ.
නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විදේශිකයකු වුව ද අපරාධමය වරදකට සම්බන්ධවී ඇත්නම් මෙරට නීතිය යටතේ ඔහුට නඩු පැවරිය හැකි බවයි.
අද සිලෝන්ටුඩේ පුවත්පත නීතිපතිවරයා උපුටා දක්වමින් වාර්තාකර ඇත්තේ, දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම අවස්ථාව අත්අඩංගුවටගත හැකි බවයි.
එම පුත්පත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වුයේ, ඔහු සිංගප්පුරුවැසියකු බැවින් අත්අඩංගුවටගත නොහැකි බවට විවිධ මත පළවී තිබුනත් ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති අනුව ඔහු අත්අඩංගුවටගත හැකි බව නීතිපතිවරයා පෙන්වාදී ඇති බව ය.
මේ සම්බන්ධයෙන් විමසුමකදී නීතිපති ජයන්ත ජයසුරීය පෙන්වා දුන්නේ, බැඳුම්කර විමර්ශන වාර්තාව පදනම් කරගෙන පමණක් බැඳුම්කර වංචා සම්බන්ධව නඩු ගොනු කළ නොහැකි බව ය.
කොමිසමට ඉදිරිපත් වූ ලිඛිත හා වාචික සාක්ෂි සටහන් මේ වන විට පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට හා දේශපාලඥයන් පිරිසකට චෝදනා එල්ලවී ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසා තිබේ.
ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසම සිය වාර්තා අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ය.
අදාළ වාර්තා නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව ද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.
Share on Google Plus