මිනිසුන් ලෙඩ කරන ගල් අඟුරු බලාගාර එපා - ඉන්ජිනේරුවරුන්ගෙන්ම විරෝධයක්


නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ පරිසර හානි පිළිබඳ, එහි සේවයේ නිරත ඉංජිනේරුවරු කරුණු දක්වති. 

මෙවන් තත්ත්වයක් තිබියදී තවත් ගල් අගුරු බලාගාර දෙකක් ඉදිකිරීම සදහා ඉදිරිපත් වු යෝජනාවක් ද මේ වන විට ප්‍රතික්ෂේප වී ඇත. 
එහෙත් මේ යෝජනාව පිටුපස ක්‍රියාත්මක වන නිලධාරින් කීප දෙනෙකු නැවතත් මෙම යෝජනාව අනුමත කර ගැනීම සදහා විවිධ උපක්‍රම දියත් කරමින් සිටින බව වාර්ථා වෙයි. 
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මේ සදහා සම්බන්ධ වී ඇති අතර බහුතර ඉංජිනේරු පිරිස ගල් අගුරු බලාගාරවල පරිසර හා සෞඛ්‍ය හානි සහ සැබෑ ආර්ථික පිරිවැය පිළිබද අවබෝධ කර ගෙන විරෝධතා ඉදිරිපත් කොට ඇත. 
නොරොච්චෝලේ බලාගාරයෙහි සේවය කරන ඉංජිනේරුවරු ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමාට ඉදිරිපත් කර තිබු පෙත්සමෙන් මේ බව පැහැදිලි වේ. 
එම පෙත්සම මගින් නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට, එහි සේවය කරන සේවකයන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවන අහිතකර බලපෑම පිළිබද අනාවරණ කර තිබේ. 
නොරොච්චෝලේ බලාගාරයෙහි සේවයේ නිරත ඉංජිනේරු පිරිස සිය ලිපිය මගින් පහත සදහන් කරුණු අවධාරණය කර ඇති අතර එම ගැටලු විසදීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි දන්වා ඇත.

1. දෛනිකව අපචද්‍රව්‍ය වශයෙන් ඉවත්කෙරෙන ගල් අගුරු අළු මෙට්‍රික් ටොන් 1000ක ප්‍රමාණය ඉවත්කිරීම සදහා විධිමත් පියවර ගැනීම
2. මෙම අළුවල අඩංගු ආසනික් හා සෙලනියම් නැමැති පිළිකා කාරක ලෝහ ප්‍රමාණය කාර්මික අපද්‍රව්‍ය වල තිබිය හැකි උපරිම ප්‍රමාණයන් ඉක්මවා තිබීම
3. අළුවල අඩංගු ක්ෂුද්‍ර අංශු ප්‍රමාණය සියයට 78ක ප්‍රතිශතය ඉක්මවා තිබීම සහ එම අංශු බොහෝ කාලයක් අවට පරිසරයේ වායුව සමග මිශ්‍රව පැවතීම  
4. බලාගාරයෙහි සේවය කරන බොහෝ සේවකයින්ට හමේ රෝග හා  පෙනහලු ආශ්‍රිත රෝගි තත්වයන්ට මුහුණ දී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි කරගෙන ඇති බව.
5. මෙම අළුවල විකිරණශීලී භාවයක් පැවතීම හා ඒ පිළිබදව තවමත් පරීක්ෂණයක් කර නොමැති වීම
6. ගල් අගුරු වල දුවීලි බලාගාර පරිශ්‍රය තුල හා පිටතට පැතිරීම
7. මෙම අළු හා දුවිලි පිළිබද ගැටළුව සම්බන්ධයෙන් විසදුම් නිර්දේශකිරීම සදහා සුදුසු උපදේශන සේවාවක් ලබාගැනීමේ අවශ්‍යතාව
8. මෙවැනි අහිතකර පරිසරයක් සහිත නොරොච්චෝලේ බලාගාරයෙහි සේවයට අනුයුක්ත කරන සේවක පිරිස් සදහා මාරු වීම් ලබාදීමත් සියලුම ලංවිම සේවකයන් යම් නිශ්චිත කාලයක් සදහා අනිවාර්යෙන් නොරෝච්චෝලේ බලාගාරයෙහි සේවය සදහා යෙදවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාව.
නොරොච්චෝලේ බලාගාරයෙහි සේවයේ නිරත ඉංජිනේරු පිරිස හෙළි කළ කරුණුවලින් තහවුරු වනුයේ පසුගිය කාලය පුරා මාධ්‍ය මගින් ඒ ප්‍රදේශයෙහි විවිධ පරිසර හානි හා සෞඛ්‍ය ගැටලු සත්‍ය සාධක මත පදනම් වී ඇති බවයි. 

ලංවිම සාමාන්‍යාධිකාරිවරයාට ඉහත කී ඉංජිනේරු පිරිස විසින් යවා ඇති පෙත්සමෙහි සවිස්ත කරුණු පහත දැක්වේ.
ගල් අගුරු බලාගාර ක්‍රියාත්මක කිරීමේදී දහනය කෙරෙන ගල් අගුරු වලින් සියයට 16ක ප්‍රතිශතයක් අළු වශයෙන් ඉවත් කෙරේ. නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් දෛනිකව ඉවත්කෙරෙන අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000කි. 

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙහි සේවය කරන ඉංජිනේරු පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත දන්වා ඇත්තේ මෙම අළුවලින් එහි සේවය කරන සේවකයින්ට, අවට ගම්වාසීන් හා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සදහා කඩිනමින් පියවර ගත යුතු බවයි. 

සිමෙන්ති නිෂ්පාදනය සදහා මෙම අළු භාවිත කළ හැකි වුවද වර්තමානයේ ඉවත්තෙරෙන අළු වල ප්‍රමිතිය බාල හෙයින් වැඩි අළු ප්‍රමාණයක් කිසිදු භාවිතයකින් තොරව ඉවත් කෙරෙන බව බලාගාරයේ ඉංජිනේරුවන් පෙන්වා දී තිබේ.  දැනට මෙම අළු ඉවත් කෙරෙනුයේ ට්‍රක් රථ මගිනි. අළු ට්‍රක් රථ වලට පැටවීමේදීත් අළු ඉවත්කෙරෙන අංගනයේදී බෑමේදීත් වැඩි වශයෙන් සුළගට ගසාගෙන ගොස් පරිසරයට එක් වේ. 

ඉදිරියේදී මෝසම් සුළං තත්වය නිසා මෙසේ අළු පරිසරයට එක්වීම තවදුරටත් ඉහල යෑමට ඉඩකඩ පවතී.  මෙම බලාගාරය ඉදිකිරීමේදී මේ ආකාරයට විශාල අළු තොගයක් ඉවත්කිරීමට ගැලපෙන ආකාරයෙන් සැළසුම් නොකර ඇති බවද එහි ඉංජිනේරුවන් විසින් පෙන්වා දී ඇත.
ගල් අගුරුවල අඩංගු ආසනික් මට්ටම කාර්මික අපද්‍රව්‍යවල තිබිය යුතු උපරිම මට්ටමට වඩා වැඩි බව මෑතකදී කල ස්වාධින පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි නොරොච්චෝලේ බලාගාරයේ සේවය කරන ඉංජිනේරු පිරිස අනාවරණ කර තිබේ. එම පරීක්ෂණයට අනුව අළුවල ආසනික් ප්‍රමාණය සියයට 35කට වඩා අධිකය. 1980 අංක 47 දරන පරිසර පනතට අනුව කාර්මික අපද්‍රව්‍ය වල ආසනික් මට්ටම 35% වඩා අඩු විය යුතු ය. 

එම පනතට අනුව සෙලෙනියම් නම් ලෝහය අපද්‍රව්‍ය තුල පැවතිය හැක්කේ සියයට 20කට වඩා අඩුවෙනි. එහෙත් නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවත් කෙරෙන අළුවල අඩංගු සිලේනියම් ප්‍රමාණය 20%කට වඩා අධික බව හෙලි වී තිබේ. 

ආසනික් හා සෙලෙනියම් යන ලෝහ වර්ගවලට අනාවරණ වීමෙන් විවිධ පිළිකා හා සමේ රෝග ඇතිවන බව නොරහසකි. මේ වන විටත් නොරොච්චෝලෙ බලාගාරයෙහි සේවය කරන ඇතැම් සේවකයින් විවිධ සමේ රෝග වලට නිරතුරුවම මුහුණ පාන බව වාර්තා වී ඇත.

මෙම අළුවල මයික්‍රො මීටර 10 ට වඩා කුඩා අංශු සියයට 78ක් පවතින අතර මයික්‍රො මීටර 2.5ට වඩා කුඩා අංශු ප්‍රමාණය සියයට 11කි.  මේවා පෙනහළු හා මෙන්ම රුධිරයට ද එක්විය හැකි බව නොරොච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන් ලංවිම සාමාන්‍යාධිකාරිවරයාට යැවු ලිපියේ සදහන්.  

එසේම ගල් අගුරු අළුවල විකිරණශීලි ස්වභාවයක්ද පවතින අතර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අළුවල විකිරණශීලි තත්වය පිළිබද තවමත් පරීක්ෂා කර නැත. ගල් අගුරු අළු ගැටළුවට අමතර ගල් අගුරු දහනයට පෙර ඒවායින් පැතිරෙන දූවිලිද ප්‍රශ්නකාරී තත්වයක් වී තිබේ. දුවිලි මැඩපැවත්වීමට යාන්ත්‍රණයක් නොතිබීම හා සුළං හේතුවෙන් බලාගාර පරිශ්‍රය පුරා ගල් අගුරු දුවිලි පැතිරෙමින් පවතී. 

සේවකයන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් කරන මේ ප්‍රශ්නය ඉහල ප්‍රමුඛත්වයක් දී විසදිය යුතු බව නොරොච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන් පෙන්වා දී ඇත. වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කරන බාලාගාර පරිශ්‍රයක් නිර්මාණය කිරීම සදහා ලංවිම කළමණාකරණය පියවර ගත යුතු වේ. 

මේ අතර නොරොච්චෝලේ බලාගාරය සදහා ඉංජිනේරුවන් ඇතුළු නව සේවක පිරිසක් කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීමට ඇබෑර්තු කැදවා ඇත. මෙහිදී බදවාගන්නා සේවකයින් අවුරුදු 7ක් අඛණ්ඩව නොරොච්චෝලේ බලාගාරයෙහි සේවය කළ යුතු බවට නව කොන්දේසියක්ද පනවා තිබේ. 
මේ තුළින් ද පැහැදිලි වන්නෙ නොරොච්චෝලේ බලාගාරයෙහි දැනට සේවයේ නියුක්ත පිරිස පමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලයේ වත්මන් ඉංජිනේරුවන්  හා අනෙකුත් සේවකයින් ද  නොරොච්චෝලේ බලාගාරයෙහි සේවය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඉහත කරුණු අනුව නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදුවන හානි අවම කිරීමට වහා පියවර ගත යුතු ය. එසේම තවත් ගල් අගුරු බලාගාර ඉදිකිරීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අනාගතයේ දී කිසිදු ආකාරයකින් ගල් අගුරු බලාගාර මෙරට ඉදිනොකරන බවට රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ යුතු ය යන්නයි.





Share on Google Plus