අගමැතිගේ බැඳුම්කර ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව නොසන්සුන්


බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

අද පෙරවරු 10.30ට විශේෂ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ කථානායක කරු ජයසූරිය සභාවට ප්‍රකාශ කරනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින් තමා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.

අනතුරුව බැඳුම්කර කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද විරෝධය පළ කලේය.

විපක්ෂය විසින් ඉදිරිපත් කළ පොදු මතය වූයේ ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව සභාගත කරන බවට ලබාදුන් පොරොන්දුව රජය කඩ කර ඇති බවයි. 

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ එම්.ඒ. සුමන්දිරන් ද මේ පිළිබඳව අදහස් පළ කළේය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ අතර, ඊට විපක්ෂයේ එකඟත්වයක් පළ වූයේ නැහැ. 

කෙසේ වෙතත්, කථානායකවරයා ප්‍රකාශය සඳහා ඉඩ ලබාදීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඊට විරෝධය පළ කරනු ලැබීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභාව මැදට පැමිණ ඊට ප්‍රතිචාර දක්වන අයුරුයි දක්නට ලැබුණේ. 

වේත්‍රධාරීවරයා සෙංකෝලය ආසන්නයට පැමිණ ඊට ආරක්ෂාව ලබා දුන්නේය.

පසුව අඛණ්ඩව පැවති උණුසුම් තත්ත්වයත් සමඟ පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව තාවකාලිකව කල් තැබීමටයි කථානායකවරයා තීරණය කරනු ලැබුවේ.
Share on Google Plus