අමරි විජේවර්ධන ඉල්ලා අස්වුණේ සිය කැමැත්තෙන්ද ?

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමරි විජේවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඇය ඉල්ලා අස් වූ බවට පළ වෙමින් පවතින වාර්තා නිවැරදි නොවන බවත්,මහ කොමසාරිස්වරිය මාර්තු මාසයේ 31 වැනිදා වනවිට ඇයගේ අභිලාෂය අනුව තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් කියා සිටියි.
පසුගිය නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටි පුද්ගලයන් හමුවේ කිසියම් අභිනයක් පෑම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුහුණ දුන් බෙහෙවින් ආන්දෝලනාත්මක සිදුවීම සහ මහ කොමසාරිස්වරිය පදවියෙන් ඉවත් වීමට තීන්දු කිරීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තවමත් පැහැදිලි නැත.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙවන විට කොළඹට කැඳවා ඇත.
ව්‍යාපාරික කාන්තාවක් වන අමරි විජේවර්ධන 2016 වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස පත් කරනු ලැබුණි.
ඇයට පෙර වසර දෙකක් පමණ එම තනතුර හිස්ව පැවති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම තනතුර බාරගන්නා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගෙන් ද ඉල්ලීමක් කළත් ඔහු ඊට එකඟ නොවුණි.


Share on Google Plus