වැලිකඩ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව අනුව කරුණු දැක්වූ බව නීතිපති දැනුම් දෙයි

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කළ වෙඩි තැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වා මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය මාර්තු මස 05 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
2012 වර්ෂයේ නොවැම්බර් මස 09 සහ 10 යන දිනයන්වල ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි තැබීමකින් වැලිකඩ බන්ධනාගාරයේ මිය ගිය රැදවියන් 27 ගේ ඝාතනයන්ට අදාළව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම මාර්තු මස 05 වැනිදාට කල් තැබිණ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරින් දෙදෙනෙකු සිද්ධිය වූ දින බන්ධනාගාරය තුළට ඇතුළු වී තෝරාගත් රැදවියන් පිටතට රැගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
සුදේශ් නන්දිමාල් සිල්වා නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වීම රැඳවියකු ලෙසට සියැසින් දුටු බවට පවසා සිටියි.
Share on Google Plus