රනිල් සහ සුසිල්ගේ මත ගැයුම මැද මෛත්‍රි අර්බුධයක


2015 ජනවාරි මස ලැබූ ජනවරම රකිමින් පවතින හවුල් ආණ්ඩුව "තවදුරටත් ක්‍රියාත්මක" බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ගෙන ඒම සඳහා එම පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මේ කරුණු සඳහන් කළේ අද (පෙබ 16) අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
අගමැතිවරයා ඉවත් විය යුතු යැයි කෙරෙන ප්‍රකාශ හමුවේ කුමක් කරන්නේදැයි විමසීමට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ "ව්‍යවස්ථාවට" අනුව ක්‍රියාකරන බව ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ කාලයක් නායකත්වය දැරීම සමග මතුවී ඇති තත්ත්වය පිළිබඳව ද එහිදී අගමැතිවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ පක්ෂ නායකයා, 'අලුත් අනාගත නායක පරපුරක්' ගොඩනැගීම ද අරමුණින් පක්ෂය විශාල ප්‍රතිසංවිධානයක් කෙරෙන බව පෙන්වා දුණි.
පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සිය අදහස් පළ කළ අගමැතිවරයා පරාජය සම්බන්ධයෙන් තමන් ද වගකීම දරන බව කී අතර රටේ පවතින ආර්ථික තත්ත්වය මීට හේතුවක් බව සඳහන් කළේය.
ජලගැලීම්, නියඟය වැනි කරුණු මත කෘෂි ආර්ථිකය කඩා වැටීම හරහා බඩු මිල ඉහළ යාම සිදුවූ බව ඔහු පෙන්වා දුණි.
මේ අතර සිය පක්ෂයේ කිසිවකු පක්ෂ නායකයා ලෙස 'තමන්ගේ අස්වීම' ඉල්ලා නැති බව ද මෙහිදී කියා සිටියේය.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේ "මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ" යනුවෙනි.
අපේක්ෂිත අරමුණු ඉටුනොවූ හෙයින් ආණ්ඩුව පරාජයට පත්වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව වෙන අයෙකු අතට අගමැති පදවිය පත්වුවහොත් මේ ආණ්ඩුවට එසේම යා හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට දන්වා ඇති අතර එසේ නැතිනම් ඇත්තේ විකල්ප දෙකක් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.
පළමුවැන්න නම්, ආණ්ඩුවේ සිටින වෙනත් පක්ෂවල කණ්ඩායම් ද එක්කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමය. එසේ නොවේනම්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව භාරදී තමන් විපක්ෂයට යාම දෙවෙනි විකල්පය බව ඔහු පෙන්වා දුණි.
එසේනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් එවන් ආණ්ඩුවක ඇමති තනතුරු නොගනීවිදැයි ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, එවැනි "සමහරු ඉන්න පුළුවන්" යැයි කීය.
පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, මතුවී ඇති තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව 'රාජ්‍ය පාලනය මෙහෙයවීමට එකඟවිය නොහැකිය' යන්න කියා සිටියේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එකඟවූ වසර දෙකක කාලය ද ඉකුත්ව ගොස් ඇති බවකි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 'කොන්දේසි විරහිතව' සහය දෙන බවය.
එහෙත් එවැනි ආණ්ඩුවක ඇමතිකම් දැරීමක් හෝ එහි කොටස්කරුවකු නොවන බව එම පක්ෂය පෙන්වා දී තිබේ.කෙසේවෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඇති වූ දේශපාලන අර්බුදය මෙතෙක් නිශ්චිතව ම විසදී ඇති බවක් පෙනෙන්නට නැත.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පසුගිය දින කිහිපයෙදී සාකච්ඡා වට කිහිපයක් ම පැවති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමති කණ්ඩායම් ද ඔවුන් දෙදෙනා වෙන වෙනම මුණගැසෙමින් සාකච්ඡාවල යෙදුනහ.
අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා ද සිටින බව මෙතෙක් පළවූ වාර්තාවලින් කියැවේ.
එවැනි තත්ත්වයක් පවතිද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (පෙබ 16) මාධ්‍ය ඇමතීමට නියමිතව තිබුණ ද පසුව එය අවලංගු කෙරිණි.
එය වක්‍රාකාරව උපුටා දැක්වූ අග්‍රාමාත්‍යවරයා, අද පැවති සිය මාධ්‍ය හමුව අවසන් කළේ "අද breakfast නැතිවුනානේ, එහෙනම් තේ බොමු" යැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කරමිනි.

'දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි'

මේ අතර ආණ්ඩුවේ කොටස්කාර පාර්ශ්වයක් වන ජාතික හෙළ උරුමය, නිවේදනයක් නිකුත් කරමින්, "මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය, එක්සත් ජාතික පාක්‍ෂිකයන් හා බල අරගලයකට යොමු කරමින් බොරදියේ මාළු බෑමට රාජපක්‍ෂ කල්ලිය කුමන්ත්‍රණය කරමින් සිටින්නේ" යයි පැවසු අතර "එජාපය මෙන්ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් මෙවැනි මර උගුල්වල නොවැටීමට තරම් ඥානවන්ත" බවය.
දැන් රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප‍්‍රතිචාරය නිහතමානීව බාර ගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අලුත් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය කියා සිටී.
ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් වහා අවශ්‍ය කරන බව කියා සිටින ජාතික හෙළ උරුමය, එම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් ආණ්ඩුව තුළ නියෝජනය වෙන දෙපාර්ශවයේම නායකයන් දූරදර්ශී විය යුතු බවත්,
"පාර්ලිමේන්තුව තුළ සහ නිල විපක්ෂය හැටියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට නිහතමානී විය යුතු" බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus