වැලිකඩ සිද්ධියේ පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් - නීතිපති


2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු මියයාම හා තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද(06) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතුවල සියයට 80 ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන්ව ඇති බවයි.

ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පරීක්ෂණවලට අදාළ නියෝග ලබාගෙන තිබෙන බවද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ. 

ඒ අනුව පෙත්සම ලබන 15 වනදා කැඳවීමට නියම කළ අභියානාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද රජයේ නීතිඥවරයාට නියම කළ බව ද සඳහන්.
Powered by Blogger.