කැබිනට් හමුව අවසන් - ජනපති නිර්පාක්ෂිකවීමට බෑ කියයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ඡා කෙරිණ.
මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.
අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධූරයේ ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමග ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කර තිබේ.
අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර ඇත්තේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය.
විශේෂයෙන්ම රටේ ජනතාව "දැනෙන වෙනසක්" ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන්ට හැඟෙන ආකාරයට එය අගමැති පදවියේ වෙනසක් බව යළිත් වරක් පෙන්වා දුන් බව ද වාර්තා වේ.
අගමැතිගේ විශේෂ ආරාධනය රන්ජන් රාමනායකට
කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද සාකච්ඡාවට සහභාගී වී ඇත.
එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දී තිබේ.
එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ.
කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ.
මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර ඇත.
Share on Google Plus