අගමැති පදවිය එපා, අවශ්‍යය මහ මැතිවරණයක් - මහින්ද

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි.
හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බී.බී.සී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
මැතිවරණයේ මෙතෙක් නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.
"මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," ඔහු පැවසීය.
මේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතත්වයෙන් එය සංශෝධනය කළ හැකි බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, "මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යනුවෙන් ද පැවසීය.

Powered by Blogger.