නායකත්වය බාරගන්න හම්බන්තොටින් එළියට එන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රටවටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි ‍ඊයේ පෙරවරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය.
අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට එහි දී යෝජනාවක් හා අදහසක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් වූ බව ද සදහන්.

කෙසේ වෙතත්, පසුගිය දිනවල මත භේදාත්මක ප්‍රකාශ සිදු කළ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික අමාත්‍ය රංගේ බණ්ඩාර ද ඊයේ රැස්වීමට සහභාගී වී සිටියේය. 

විශ්වාසභංග යෝජනාවට පෙර පක්ෂ ප්‍රතිසංවිධෘන කටයුතු පිළිබඳව සාකච්ඡා නොකර පසුව ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීම සුදුසු බව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහස වී‍ තිබේ. 

පක්ෂයේ තනතුරු වෙනස් විය යුත්තේ ඇයි ද යන්න මෙහිදි සාකච්ඡා වී‍ තිබේ. 

පක්ෂයේ තනතුරු දරන අය එහි නිසි වගකීම් ඉටු කළ යුතු බවත් ප්‍රශ්න ඇති‍ වෙන්නේ එසේ නොකරන විට බවත් අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. 

තම වගකීම් ඉටු නොකර නායකත්වයට දොස් කීමෙන් පළක් ‍නොවන බවද ඔහු පෙන්වා දී තිබේ. 

හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වා තිබේ.
Share on Google Plus