තරුණ පරපුර විකුණා - වැලිඅංගේ සුපිරි ගසා කෑමක


ජාතික තරුණසේවා සභාවේ "දැක්ම" ලෙස සටහන් වන්නේ "බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්" යන්නය. එහි "මෙහෙවර" ලෙස සටහන් වන්නේ "දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොට ගෙන ජිවිත අභියෝගී සදහා මුහුණ දීමට ශ්‍රී ලාංකීය තරුණයා සවිබල ගැන්වීම සදහා පහසුකම් සැපයීම"ය.
සභාවේ නිල වෙබ් අඩවියේ එසේ සඳහන් වුවත් 2016 දෙසැම්බර් 31 වනදායින් අවසන් මුල්‍ය වර්ෂයට අදාළ විගණන විමසුමෙන් හෙළිවන්නේ බලසතු ශ්‍රී ලාංකිකයා බිහිකිරීම කෙසේ වුවත් සභාව ඉබාගාතේ යනවා පමණක් නොව බරපතල සැකසංකා ඇතිවන ආකාරයේ ගනුදෙනුද එහි සිදුව තිබෙන බවය.
නීතීඥ එරන්ද වැලිඅංගේ කියන්නේ ජාතික තරුණසේවා සභාවේ සභාපති මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ඔහුට මේ ආණ්ඩුවේ තිබෙන තැන කවුරුත් දන්නා අතර ඒ නිසා බොහෝ දෙනෙකු කැමති "වැලිඅංගේ මැතිතුමනි රටේ තාරුණ්‍ය ඔබේය! එහි නියමුවා ඔබය! ඔබ මාරය! සුපර්ය !" කියා වැලිඅංගේට "අං" තියන්නය. කට්ටිය එහෙම කියන විට වැලිඅංගේ "ෆට්ටයි" හිතෙනවාද ඇත.
එහෙත් එවැනි තුට්ටු දෙකේ කඩේ යවන වැඩ අපේ ළඟ නැත. අපේ කලාවද එය නොවේය. අප මේ බව අනාවරණය කර සිටින්නේ තරුණ දේශපාලනඥයකු ලෙස වැලිඅංගේට හැදෙන්න කියාදෙන්නද නොවේය. සමහර අයට තියන ඒ අසනීප අපට නැත. ඒ වෙනුවට අපි මේ අනාවරණය කරන්නේ යහපාලනයට වැරදුන තැනක් පෙන්වා දෙන්නටය. යහපාලනය බෝඩ් ලෑල්ලට සැඟවී එහි ආරම්භයේ පටන් කර ඇති සෙල්ලමක පළමු වර්ෂ පුර්ණයේ නිදර්ශන දක්වන්නටය. ඒ හැරුණු විට වැලිඅංගේ සමඟ වෙනත් කිසිඳු ආරෝවක් පෞද්ගලිකව අපට නැත.
අදාළ විගණකාධිපති දෙපාර්තමේන්තුව අදාළ වාර්තාව නිකුත් කර තිබෙන්නේ 2017 ඔක්තෝබර් 16 වනදාය. වැඩබලන විගණකාධිපති W.P.C. වික්‍රමරත්න ඊට අත්සන් තබා ඇත.
viganana-1
ලක්ෂ 79 කොම්පියුටර් ජිල්මාට්
ඒ යටතේ අප සිදුකරන පළමු හෙළිදරව්ව වන්නේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුකර තිබෙන පරිගණක මිලදී ගැනීමක් සම්බන්ධවය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ හලාවත පුහුණු මධ්‍යස්ථානය සඳහා ය. එහිදී රුපියල් 7,932 900. 00 ක් වැයකොට පරිගණක 75ක් මිලදී ගැනීමට සභාව කටයුතු කර ඇත.
 විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ
මේ බව අනාවරණය කරමින් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පමණක් නොව ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුවද සභාව කටයුතු කර නොමැති බවය. ඒ දිනෙන් දින අලුත් වන තාක්ෂණයෙන් යුතු පරිගණක වැනි තාක්ෂණ උපකරණ මිලදී ගැනීමේදී වෙළඳපොල මිල සැසඳුම් ක්‍රමවේදය යොදාගැනීම සුදුසු නැති නමුත් ඉහත පරිගණක මිලදී ගැනීම සිදුකර ඇත්තේ එකී ක්‍රමවේදය අනුව බවය.
එසේම එහි වන අනෙක් ගැටළුව වන්නේ අදාළ මිලදී ගැනීම සඳහා වන මිල ගණන් කැදවීමේදී විධිමත් ලංසු ලියවිලි භාවිතා කර නොතිබීමය. එසේම පරිගණක සඳහා සුසුසු පිරිවිතර සකස්කර නොමැති බවත් සකස් කර තිබූ පිරිවිතරහිද පරිගණකයක තිබිය යුතු අත්‍යාවශ්‍ය අංග 3ක් ඇතුළත් කර නොතිබූ බවද එහි දැක්වේ.
තවද මිල ගණන් ඇගයීමේදී මිල ඉදිරිපත් කළ ආයතන 5න් 3ක් ඉන් ඉවත්කර තිබෙන්නේ කිසිඳු හේතු දැක්වීමකින් තොරවය. එසේම එහිදී ඇගයීමට ලක්කර තිබෙන්නේ අවම මිල සහ උපරිම මිල පමණය.
vigana2
වටෙන් ගොඩෙන් කියන්න දෙයක් නැත. මේ සිදුවීම් පෙළ ගැස්ම ඉතා පැහැදිළිව කියාපාන්නේ තෝරාගත් පාර්ශවයක් වෙත අදාළ පරිගණක මිලදී ගැනීමේ කටයුත්ත ලබාදීමට මේ සියල්ල සිදුකර ඇති බවය.
ඒ කුමන හෝ අටමගලක් සිදුකර මිලදී ගන්නට කටයුතු කලේ දෝෂ රහිත පරිගණක නම් ගැටළුවක් නැත. මන්ද රාජපක්ෂ සමයේ මෙන්ම මේ ආණ්ඩුවේ ඇතැමුන්ගේ හොරකම් ගැන හිතන විට ලක්ෂ 79ක් එතරම් ලොකු ගණනක් නොවන නිසාය.
එහෙත් වැලිඅංගේ ගේ අවාසනාවට එවැනි සහනයක් ලබන්නට මෙහිදී ඉඩක් නැත. ඒ එම පරිගණක 75න් 7ක්ම භාවිතයට ගන්නටත් පෙර සිට අක්‍රීයව පැවති බව විගණනයෙදී අනාවරණය වී ඇති නිසාය. එම පරිගණක 7 වටිනාකම රුපියල් 740 404.00 කි.
වැලිඅංගේ ගේ සැපයුම්කාර ආලේ !
මෙහි ඇති අනෙක් කණගාටුදායක කරුණ වන්නේ කාර්යසාධන සුරක්ෂණයක් ලබාගැනීමට පවා මේ කටයුත්තේදී ජාතික තරුණ සේවා සභාව කටයුතු නොකර තිබීමය. එහිදී ගිවිසුම්ගත කාලයකට යටත්ව ගෙවන මුදලින් ප්‍රමාණයක් රඳවා ගත්තා නම් අවම වශයෙන් සැපයුම්කරුට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන්නට සහ පාඩුව පියවා ගන්නට කටයුතු කරන්නට තිබිණ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශය තුළ ඊට අදාලව වෙනම වගන්ති නිකුත් කර තිබෙන්නේද එනිසාය.
එහෙත් මේ කිසිවක් නොකර සම්පුර්ණ මුදල සැපයුම්කරුට නිකුත් කිරීමට ජාතික තරුණසේවා සභාව කටයුතු කර ඇති අතර ඒ හොරකම නිසාද ? උද්දච්ච කමද? වැඩබැරි කමද යන්න අප දන්නේ නැත. එහෙත් විගණන වාර්තාව අනුව අපට කියන්නට ඇත්තේ මේ තුනම හෝ මෙයින් කිහිපයක් හේතුවෙන් මේ සිදුව තිබෙන බවය.
ඇඟිලි සලකුණු යන්ත්‍ර කතා වස්තුව
එසේම තරුණ සේවා සභාවට අයත් පළාත් කාර්යාල , දිස්ත්‍රික් කාර්යාල සහ පුහුණු මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට පැමිණීම සහ පිටවීම සටහන් තැබීම සඳහා ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර 60ක් මිලදී ගැනීමේ ගනුදෙනුවද ඉතා සැකසහිත බවට විගණන වාර්තාව සාක්ෂි දරයි.
මෙම ඇඟිලි සටහන් යන්ත්‍ර 60 මිලදී ගැනීමට සැපයුම්කරුට සභාව විසින් සම්පුර්ණ මුදල ගෙවා ඇති අතර ඒ රුපියල් 2,793,167.00 ක්ය. එහෙත් විගණන දිනය වූ 2017 මැයි 31 දිනය වන විටත් සැපයීම් කර තිබෙන්නේ යන්ත්‍ර 51ක් පමණය. එනම් යන්ත්‍ර 9ක් සභාවට සැපයීමට සැපයුම්කාර පාර්ශවය කටයුතු කර නැත. එපමණක් නොව සපයනු ලැබූ යන්ත්‍ර 51න් ද අපේක්ෂිත කාර්ය ලබාගැනීමට හැකිව තිබෙන්නේ යන්ත්‍ර 3ක් හරහා පමණය. සවිකළ යන්ත්‍ර 29 කම මෘදුකාංග ඇතුළත් කර තිබී නොමැත. එසේම පැමිණීමේ වාර්තා ලබා ගැනීමට නොහැකි යන්ත්‍ර 16ක් වූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.
එපමණක් නොව පුදුම සහගත කරුණ වන්නේ මේ මිලදී ගැනීමේ කටයුත්තේදීද කාර්යසාධන සුරක්ෂණයක් තබා නොගැනීමය. ඒ අනුව පෙනෙන්නේ මේ එකම වරද දිගින් දිගටම සිදුකර ඇති බවය. කිසියම් කටයුත්තකදී අතපසුවීමක් සිදුවිය හැකි බව පිළිගත හැකි කාරණයක්ය. එහෙත් එකම වරද දිගටම කිරීම? එම වරද කියන්නේම රජයට වන පාඩුව වළක්වා ගැනීමට නොහැකිවීම නම්, ඒ අතපසුවීමක් නොව වෙන ගේමක් බව පැහැදිළිය. කෙටියෙන්ම කියනවා නම් මේවා හොර හිත මත දැනුවත්ව කර ඇති වැරදිය.
මේ ආකාරයට තරුණ සේවා සභාපති වැලිඅංගේ ගේ දස්කම් විස්කම් සඳහන් කරන විට මේවා මොන සෙල්ලම්ද? යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන්ය. එහෙම හිතන අයට අපට කියන්න ඇත්තේ තවම සෙල්ලම ආරම්භ වී නොමැති බවත් මෙතෙක් කාරණා සෙල්ලමට පෙර පොඩි 'වොර්ම් අප්' පමණයි කියාය.
යොවුන් පාර්ලිමේන්තුවට වැඩ නොකරන ටැබ් පරිගණක
ඇත්තට සෙල්ලම පටන් ගැනීමේ ලකුණු පෙනෙන්න ගන්නේ සභාව විසින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බෙදාදුන් ටැබ් පරිගණක මිලදී ගැනීමේ ගනුදෙනුවේදීය. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා 2015 දෙසැම්බර් 31 ටැබ් පරිගණක 327ක් මිලදී ගැනීමට තරුණසේවා සභාව කටයුතු කර ඇති අතර ඊට රුපියල් 15,859,500.00ක් වැයකර ඇත.
ගබඩාවට ගන්න විටත් 23ක් වැඩ නෑ !
එම යන්ත්‍ර සියල්ල හොඳින් ක්‍රියා කරන බවට තාක්ෂණික ඇගයීම් කමිටුව සහතික කර ඇති නමුත් විගණන අනාවරණය අනුව අදාළ යන්ත්‍ර සැපයුම්කාර පාර්ශවය සභාවේ ගබඩාවට භාරදෙන අවස්ථාව වන විටත් ටැබ් යන්ත්‍ර 23ක් ක්‍රියාකාරී තත්ත්වයේ තිබී නැත. එසේම තමන්ට ලැබුණු ටැබ් යන්ත්‍ර දෝෂ සහිත බව තරුණ මන්ත්‍රීවරුන් විගණනයට වාර්තා කළ බවද වාර්තාවේ දැක්වේ.
යොවුන් පුරයේ ටී ෂර්ට් ගැහිල්ල
වැලිඅංගේ ගේ සෙල්ලම පටන් ගෙන ඇති බව හොඳටම පැහැදිළි වන අවස්ථාව වන්නේ 2016 මාර්තු 31- අප්‍රේල් 04 පවත්වන ලද යොවුන් පුර වැඩසටහනයි. ඊට සහභාගීවන සිසුන්ට ටී ෂර්ට් ලබාදීමට සඳහා 11928ක් සඳහා ජාතික තරුණ සේවා සභාව රුපියල් 9,973,220.00 ක් වෙන්කර ඇත. එහෙත් වැඩසටහනට පසු දිනයේද ටී ෂර්ට් 1773ක් සඳහා ඉහත මුදලින් රුපියල් 1,932,000.00ක් ගෙවන්නට සභාව කටයුතු කර ඇති අතර ඒද කිසිඳු තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරවය.
viganan3
අලාභය ලක්ෂ 18යි !
එසේම විගණන වාර්තාවේ සඳහන් වන්නේ මෙම මිලදී ගැනීමේ කටයුතු විධිමත්ව සැලසුම් නොකිරීම සහ නියමිත කාලයට ප්‍රසම්පාදන කටයුතු සිඉදුනොකිරීම මත ටී ෂර්ට් මිලදී ගැනීම තුළ සභාවට රුපියල් 1,848,840.00 ක අලාභයක් සිදුව ඇති බවය.
ඊටත් වඩා පුදුම සහගත කරුණ වන්නේ ටී ෂර්ට් එකක මිලය. ටී ෂර්ට් 11928ක් තරම් මහා තොගයක් වෙනුවෙන් එකකට රුපියල් 836.11 ක් වැයකර ඇත. වැලිඅංගේ සභාපතිතුමාට මේ ගැන මොකක් කියනවාද අප දන්නේ නැති නමුත් මේ තුළ සියඹලා නම් එමට බව පැහැදිළිය.
ගොවිපළට අබ සරණයි : ලක්ෂ 172ක් වෙන වැඩවලට
එසේම 2016 වසරේ ගොවිපල සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 24.3ක් (ලක්ෂ 243ක්) වෙන්කර ඇති අතර එයින් 715ක් ම එනම් රුපියල් මිලියන 17.2ක් (ලක්ෂ 172ක්)ක් අදාළ සංවර්ධන කටයුත්තට යොදන්නේ නැතිව වෙනත් වැඩසටහන් සඳහා වෙන්කර ඇති බවද විගණන වාර්තාව සඳහන් කරයි.
viganan4
ඊට අනුව මෙසේ ගොවිපල සංවර්ධනය සඳහා වෙන්කළ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීම හේතුවෙන් ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය ඇණහිට අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබෙන තැනට පත්ව ඇත.
මුල්‍ය ප්‍රකාශන ගැන විගණන අනාවරණය
එසේම විගණන වාර්තාව අනුව මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධව ජාතික තරුණ සේවා සභාවේ පවතින්නේ කොහෙත්ම තෘප්තිමත් විය හැකි තත්ත්වයක් නොවේ.
viganan5
ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ 98%ක කොටස් හිමිකාරීත්වයක් ඇතිව 1981 වර්ෂයේදී ආරම්භ කරන ලද සීමාසහිත තරුණ සේවා (පුද්) සමාගමේ මුල්‍ය ප්‍රකාශන, සභාවේ මුල්‍ය ප්‍රකාශන සමඟ ඒකාබද්ධ කර මුල්‍ය ප්‍රකාශන පිළියෙල කර නැත.
තවද සීමාසහිත තරුණසේවා (පුද්) සමාගමෙහි සහ සීමාසහිත ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සංගමයෙහි සභාපති ලෙස සභාවේ සභාපතිවරයා කටයුතු කරන අතර සමාගමෙහි පරිපාලන කටයුතු මෙන්ම ව්‍යාපාරික ස්ථානය ද සභාවේ ප්‍රධාන කාර්යාලය පිහිටි භුමියේ පවත්වාගෙන යයි. ඊට අවශ්‍ය විදුලිය, ජලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ද කිසිඳු අගය කිරීමකින් තොරව සභාව විසින් සපයා ඇති නමුත් ඒ පිළිබඳ මුල්‍ය ප්‍රකාශන වල හෙළිකර නොමැති බවද විගණනයේදී අනාවරණය වී ඇත.
කතාව ඉවර නෑ : තව තියනවා
එපමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති සම්බන්ධවද ජාතික තරුණ සේවා සභාවේ හැසිරීම කොහෙත්ම තෘප්තිමත් විය හැකි මට්ටමක නැත. ඒ බවද ඉතා පැහැදිළිව විගණන වාර්තාවේ දැක්වේ. එසේම ගිණුම්කරණ අඩුපාඩු, මුල්‍ය කටයුතු වල පැහැදිළි නොකළ වෙනස්කම්, ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම් වල අඩුපාඩු, නීති රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම ඇතුළු කාරනා රැසක් සම්බන්ධවද ජාතික තරුණ සේවා සභාවේ කටයුතු අන්තිම නිල් බවට අදාළ විගණන වාර්තාව සාක්ෂි දරයි.
එපමණක් නොව රාජපක්ෂ පාලන සමයේ ජාතික තරුණ සේවා සභාවේ පැවති ජවුසං රැසක් එලෙසින්ම නඩත්තු කිරීමටත් වැලිඅංගේ කටයුතු කර තිබෙන බව විගණනයේදී අනාවරණය වී ඇත.
මේ වැලිඅංගේ ගේ සෙල්ලමේ ආරම්භය පමණය. නැතිනම් 2016 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ පළමු වසරේ ජාතික තරුණ සේවා සභාවේ මුදල් සමඟ දැමූ සෙල්ලම් වල ප්‍රගති වාර්තාවෙන් කොටසක් පමණය. කෙටියෙන්ම නම් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස වැලිඅංගේ මුල්‍ය අංශයේ කොතරම් දුර්වලද යන්න තහවුරු කරන සාක්ෂි කිහිපයක් පමණය.
සොක්කන් ලොක්කන් වෙන්න යාම
මෙහි ඇති අමතක නොකළ යුතු කරුණ වන්නේ පැවති දුෂිත පාලනය අවසන් කර යහපාලන පුවරුව යටතේ බලයට පැමිණ වසරක් ඉක්මයන තැන මේ සියළු සෙල්ලම් සිදුව තිබීමය. ඇත්තටම ආණ්ඩුවේ ලොක්කන් බොහෝ දෙනෙකුගේ රෙදි නැති වුයේ සොක්කන්ගේ මේ මැටි මෝල් වැඩ නිසාය. නැතිනම් තනතුරක් ලැබුණු වහාම ජීවිත කාලයම නොකෑ කෑම දවසෙන් දෙකෙන් කන්න ගිය නිසාය. එහෙත් ඒවා දිරවා ගන්න බැරි වන්නේ ගෝලයන් ගැන විශ්වාසය තබා වැඩ භාරදුන් ලොක්කන්ටය.
වැලිඅංගේ තරුණසේවා සභාවේ සභාපතිධුරයට පත්කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාය යන්න රහසක් නොවේය. අගමැති කියන්නේ නළුවෙක් නොවේ මොළයක් කීවත් වැලිඅංගේ යන්නේ ඒ පාරේ නොවන බව පළමු වසරේ ප්‍රගති වාර්තාව සාක්ෂි සපයා ඇත. ඇත්තටම වැලිඅංගේ ගේ ගමන සැලසුම්වී ඇත්තේ මොළය පැත්තක තබා නළුවෙක් වීමේ පාරකය. එනිසා ආරම්භයේ සිට සල්ලි විෂයේ වැලිඅංගේ දුර්වලවී ඇති බව පැහැදිළිය. එහෙත් මේ වැඩ වලින් රෙදි ගැලවෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේය. අපකීර්තියට පත්වන්නේ යහපාලනයය. මේ වැලිඅංගේ ගේ සල්ලි අංගේ පමණය.

Share on Google Plus