TNA හා ඩයස්පෝරා නායකයන් ඇමරිකාවේ - “දැඩි ක්‍රියාමාර්ග ගන්න”

යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව ශ්‍රී ලංකාවේ වගකීම් සහගත භාවය සහතික කිරීම සඳහා 2015 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී දුන් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇති පසුබෑම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙවර ජිනීවා සමුළුවේදී “දැඩි ක්‍රියාමාර්ග” ගනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළකරයි.
ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු නොකළ එකඟතා සම්බන්ධයෙන් තවත් දෑවුරුදු කාල අවකාශයක් ලබා දීමට සහාය දුන් දෙමළ ජාතික සන්ධානය ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් සිය විශ්වාසය පළකළේ ඩයස්පෝරා නායකයන් සමග එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ඉහළම පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නිව්යෝර්ක් නුවරදී මුණගැසීමෙන් අනතුරුවයි.
දෙමළ ජාතික සන්ධානයේ සහ ගෝලීය දෙමළ සංසදයේ (GTF) නායකයන් නිව්යෝර්ක් නුවරදී රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසුනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  ශ්‍රී ලංකාව ඉකුත් වසරේ අත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙදිනකට පෙරය.
සකාච්ඡාවට පදනම් වනු ඇත්තේ මහකොමසාරිස් වරයා විසින් ඉදිරිපත් කරන වාර්තාවකි.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සාමාජික රටවලට බල කරන ලෙස ඇමරිකා එක්සත් ජනපද  එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත කෙලී කෙරී ගෙන් ඉල්ලා තිබේ.
“එතුමිය ඊට සාධනීය ප්‍රතිචාරයක් දක්වා සිටියා,” යි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් නිව්යෝර්ක් නුවර සිට ගගන හා කියා සිටියේය.
දෙමළ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ මෑතදී නිල සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ද නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මුණ ගැසී තිබේ.
GTF සංවිධානයේ එස් ජේ එමානුවෙල් සහ සුරේන් සුරේන්දිරන් ඔහුට පවසා ඇත්තේ ආණ්ඩුව පිහිටවූ අලුත ඒ සමග එක්ව වැඩ කිරීමට තමන් කැමැත්ත පල කළත්, ජිනීවා සම්මුතිය ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව  කිසිම ප්‍රගතියක් පෙන්වා නැති බවයි.
එමනිසා, ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කරන ලෙස ඔවුන් නියෝජ්‍ය මහලේකම් වරයාගෙන් ඉල්ලා තිබේ.
මානව හිමිකම් මණ්ඩලයේදී තීරණ ගැනීම සාමාජික රටවල වගකීමක් බව සිහිපත් කළ ජෙෆ්රි ෆෙල්ට්මන් “අපි අපේ රාජකාරිය පුළුවන් විදියට කරනවා,” යි පැවසූ බව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශයේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂිකා මාරි යමසිටා, එක්සත් ජාතීන්ගේ නෝර්වේ නිත්‍ය නියෝජිත තූර් හැට්රම් ද නිව්යෝර්ක් නුවරදී හමුවී සාකච්ඡා කළ බව ගගන හා කියා සිටි GTF ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන් ජිනීවා සමුළුවට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපීය ප්‍රධාන නියෝජ්‍ය ලේකම් ඇලිස් ජී වෙල්ස් ද මුණගැසෙන බව ප්‍රකාශ කළේය.
Share on Google Plus