ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි - ජිනීවාහි යළි බලපෑම්

මෙරට වර්ධනය වෙමින් පවතින මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිළි කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය ඇති විශේෂ අධිකරණයක් සථාපිත කල යුතු බවට වන මතය ශක්තිමත් වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

මෙරට වගවීමේ සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධ‍යෙන් මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ග්ලිමර් මේ බව ප්‍රකාශ කළේය.

2015 වසරේදී පැවති මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේදී  ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සම්මත වූ 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ වාර්තාව මෙවර සැසිවාරයට ඉදිරිපත් කලේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ග්ලිමර් විසින්ය.

කේට් ග්ලිමර් විසින් එහිදි මෙසේ ප්‍රකාශ කර තිබේ.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයක සහ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ශ්‍රී ලංකා රජයේ ඵලදායී සබඳතාවය අපි අගය කරනවා. 

එහෙත් ඉතාම කණගාටුවෙන් සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයේ ඇති මන්දගාමීභාවය වාර්තා කළ යුතුයි. ශක්තිමත් ප්‍රතිඵල හෝ මහජනතාවට ප්‍රසිද්ධ කළ නව නීති කෙටුම්පත් නොමැති නිසා ලොකු සැකයක් තියෙනවා 30/1 යෝජනාවෙන් රජය ඉටු කිරීමට බැඳී සිටින සංක්‍රාන්තික යුක්ති න්‍යාය පත්‍රය අපේ මීළඟ වාර්තාවට කළින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. 

අපි තවදුරටත් කණගාටුව පළ කරනවා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් බොහෝම ‍මෑතකදී පත් කිරීම සම්බන්ධයෙන්. එය සිදුවුණේ පනත සම්මත වෙලා මාස 20කට පසුවයි. 

හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් නැවත ජනතාවට භාරදීමේ ක්‍රියාවලිය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. රජය තවමත් පැහැදිලි කරලා නැහැ වැඩි වෙමින් පවතින අන්තර්ජාතික මානූෂීය නීතිය කඩකිරීම් සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව. 

මේ තත්ත්වය බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වෘත්තිකයන්ගේ සහාය ඇති විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි යන මත ශක්තිමත් කරනවා. ඒ වගේම අපි බරපතල ලෙස අවධානය යොමු කරනවා ජාතීන් අතර ඇති වූ ගැටුම් පිළිබඳව. ඒ අතර මුස්ලිම් ජනතාවට එරෙහි මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වු ගැටුමත් අදාළයි. 

එය දින 12 ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට හේතු වුණා.“

එහිදී ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වාර්තා කිරීම සඳහා පසුගිය වසර තුන තුළ විටින් විට මෙරට සංචාරය කල එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පබ්ලො ඩි ග්රිෆ් මහතාද මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“2015 මුල් භාගයේදී ඉක්මණින් අවධානය යොමු කළ යුතු ගැටලු කිහිපයක් මම පෙන්වා දුන්නා. මේ ගැටලු අතරින් බොහෝමයක් තවමත් සම්පූර්ණයෙන් විසඳිලා නෑ. 

මම රටේ පක්ෂ විපක්ෂ ආගමික සහ හමුදා නායකත්වයෙන් අහනවා තව මාස දෙකකින් හෝ අවුරුදු දෙකකින් ඔබේ සමාජයේ අම්ම කෙනෙක් ඇහුවොත් මගේ පුතාව අතුරුදන් කිරීම සහ ඔහුගේ මරණය වළක්වන්න මොනව‍ද කළේ කියලා ඔබ මොනවද ඇයට කියන්නේ. 

එය නැවත සිදුවෙයි කියලා ඔබ දැන ගෙන හිටියේ නැහැ කියලද ? තීරණාත්මක සහ ධෛර්ය සම්පන්න වැඩපි‍ළිවෙළක් රටට අවශ්‍යයි. සෑම කෙනෙකුටම සිය නෛතික අයිතිවාසිකම් පිළි අරගෙන තියෙනවා කියලා හැ‍ගෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. කිසිවෙක් නීතියට උඩින් යන්නේ නැහැ කියලා තහවුරු කරන නෛතික රාමුවක් රටට ඕනේ.“

මේ අතර ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මෙරට ප්‍රතිසංධාන ක්‍රියාවලිය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ පළ කළේ මෙවැනිම අදහසක්.

“ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකා හමුදාව ගත්ත පියවර ගත්තේ ලෝකේ රටවල් රැසක් ත්‍රස්තවාදීන් වශයෙන් හඳුනා ගත් කණ්ඩායමකට එරෙහිව අපේ රටේ කිසිදු ජන කොටසකට එරෙහිව නෙවෙයි. 

2017 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ නීතිය නිලවශයෙන් ක්‍රියාවට නැංවූවා. ආරක්ෂක හමුදා සන්තයේ තිබුණ සියයට 70 කට අධික පෞද්ගලික ඉඩම් දැන් ඒවායේ නියම හිමිකරුවන්ට භාරදී තිබෙනවා. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවංලගු කර ඒ වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි නීතියක් ගෙන එනවා මානව හිමිකම් සහ අන්තර්ජාතික ප්‍රමිතීන් ආරක්ෂා වන අන්දමට. ශ්‍රී ලංකා‍වේ ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් සිදුවීම් ගැන අපි වේදනාවට ලක්ව සිටිනවා. එම සිදුවීම් වල වැරදිකරුවන්ට එරෙහිව රජය ඉක්මන් පියවර අරගෙන තියෙනවා. 

වාසි ලබා ගන්නට ඇතැම් පාර්ශ්ව මේ සිදුවීම් පිටුපස ඉන්නවා කියලා විශ්වාස කරන්න අපිට හේතුවක් තියෙනවා. මෙම කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙන කාලසීමාවක අපේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා. 

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට සම්පූර්ණ හැකියාව තියෙනවා සියලු කාරණා සඳහා අවශ්‍ය යුක්තිය ඉටු කරන්න. ඊට ගෞරවනීය සහ වෘත්තීමය ඉතිහාසයක් තියෙනවා. සියලුම සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියේදී  ර‍ටේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වේවි. 

ශ්‍රී ලංකාවේ ගැටුම්වලට බර ඉතිහාසයක් තියෙනවා. අන්තවාදීන් මේ තත්ත්වයෙන් වාසි අරන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගන්නවා. මේ තත්ත්වය තේරුම් ගැනීම අපිට තවදුරටත් අධිෂ්ඨානයක් ඇති කරනවා අතීතයේ ගැටුම්කාරී කාලයට නැවත ගමන් නොකිරීම සඳහා.“
Share on Google Plus