මාධ්‍යවේදියා ඉදිරියේ හිටපු නාවික හමුදාපති දණ ගසයි


හම්බන්තොට වරාය සේවකයින්ගේ උද්ඝෝෂණයක් අතරතුර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීයාට හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කනට ගැසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නාවික හමුදාව සමාව ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව සමථයකට පත් කිරීමට දෙපාර්ශවයම එකඟත්වය පළ කළේය.

හම්බන්තොට  වරාය චීන සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් සිදුකෙරුණු සේවක උද්ඝෝෂණය අතරතුර උද්ඝෝෂකයන් සහ නාවික හමුදා භට පිරිස් අතර නොසන්සුන්තාවක් හටගත්තේ 2016 දෙසැම්බර් 10 වන දිනයි.

එම අවස්ථාව ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන්ට නාවුක හමුදාවෙන් බාධා එල්ල වූ අතර එහිදී අද දෙරණ හම්බන්තොට ප්‍රාදේශිය මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාරට එවකට නාවික හමුදාපතිවරයාව සිටි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් ප්‍රහාරයක් එල්ල විය.

මෙම ප්‍රහාරයෙන් පසුව ලක්වූ මාධ්‍යවේදී රොෂාන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.

නඩු විභාගය අතරතුර නඩුව සමතයකට පත් කිරීම සඳහා පැමිණිලිකාර පාර්ශවය නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ පහරදීම සම්බන්ධයෙන් නාවික හමුදාව කොන්දේසි විරහිතව සමාව ගත යුතු බවයි.

එමෙන්ම ගැටුම් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් සමඟ නාවික හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ට පුහුණුවක් ලබා දිය යුතු බවද ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම කොන්දේසි දෙක පිළිගත් නාවික හමුදාව පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය සමථයට පත් වීමට එකඟත්වය පළ කිරීමත් සමඟ නඩු විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
Share on Google Plus