දෙමළ ජනතා විමුක්ති සන්ධානයට බයෙන් TNA - EPDP එක්වේ

දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී.සංවිධානය මේ දිනවල එක් වී ක්‍රියා කරණු ලබන්නේ දේශපාලන කටයුතු සඳහා පමණක් යැයි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසයි.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ටෙලෝ සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සෙල්වම් අඩෙයිකලනාදන්හා ටෙලෝ සංවිධානයේ මහලේකම් එස්.ශ්‍රීකාන්තා යාපනයේදී ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවාන්නදා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම පක්ෂ දෙක අතර එම එකගතාවය ඇතිව තිබේ.

පසුගිය දිනවලදී පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන් තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයේ සභිකයින් දෙමළ ජාතික සන්ධානයට සහය දක්වා සිටියේද එම සාකච්ඡා වලින් පසුව බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඉල්ලා අස්වූයේද මේ තත්ත්වය මත යැයි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසයි.

මේ තත්ත්වය දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අතිකරගෙන ඇති එකගතාවයක් මිස දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් බවට ඊ.පී.ඩී.පී.සංවිධානය  එක්වීමක් නොවන බව මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ සඳහන් වෙයි. 

ඊ.පී.ඩී.පී.සංවිධානය මේ අන්දමට දෙමළ ජාතික සන්ධානයට සහය දැක්වීමට තීරණය කොට ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් බහුතර සභිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් තේරී සිටීමත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් සලසා දීමක් වශයෙන් බවත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් කිරීමට ඉදිරිපත් වී සිටින දෙමළ ජනතා විමුක්ති සන්ධානයට උතුරේ බලය මේ අවස්ථාවේදී ලබා දුනහොත් උතුරේ ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බව ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා පවසා තිබේ.

ඊට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත්තේ වත්මන් රජය සමඟ කටයුතු කරන්නේ දෙමළ  ජාතික සන්ධානය මිස දෙමළ ජනතා විමුක්ති සන්ධානය නොවන බවය.
Share on Google Plus