ඉරානය - ඇමෙරිකා අර්බුධ මැද ඉහළ යන ඉන්ධන මිල

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය හේතුවෙන්.
පවතින තත්ත්වය හමුවේ මේ වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75කට අධිකය.
වසර තුනකට අධික කාලයකට පසුව තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව මෙය වන අතර අවසාන වතාවට බොරතලේ මිල මෙතරම් ඉහළ ගියේ 2015 මාර්තු මාසයේ දීය.
පසුගිය දින හය මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතිය ද ඒ අනුව මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල 20% කින් ඉහළ ගොස් ඇත.
දෙපාර්ශ්වය අතර ගැටුම් උණුසුම ඉහළ යාමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ ඛනිජ තෙල්වලට එරෙහිව යළිත් වරක් සම්බාධක පැණවීමට ඉඩ තිබෙන බවට පළවන බිය තෙල් මිල එතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුවය.
කෙසේ වෙතත් ඉරානය සමග අත්සන් තබා තිබෙන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන්නේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය ලබන මැයි 12 වෙනි දින වන විට තීරණය කිරීමට නියමිතය.
ඉන්ධන නිෂ්පාදනය කපා හැරීමට 'ඔපෙක්' සංවිධානය සහ රුසියාව ඇතුලු ඉන්ධන නිපදවන අනෙක් රටවල් පසුගිය වසරේ එකඟවීමෙන් අනතුරුව මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතුණි.
මේ වසරේ අග භාගය දක්වා තෙල් නිෂ්පාදනය කපා හැරීමට ඔවුහු පසුගිය නොවැම්බරයේ දී එකඟ වූහ.
මැයි 12 වෙනි දිනට පෙර අදාළ න්‍යෂ්ඨික සම්මුතියේ පවතින "දරුණු අඩුපාඩු" නිවැරදි කිරීමට සිය යුරෝපීය හවුල්කරුවන් ක්‍රියා නොකරන්නේ නම්, ඉරානයට එරෙහි සම්භාධක යළිත් පණවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය එම සම්මුතියට අත්සන් තැබූ අනෙක් හවුල්කරුවෝය. සම්මුතිය දිගටම ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අභිලාශය වී තිබේ.
සම්බාධක යළිත් පණවනු ලැබුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බව CMC Marketsආයතනයේ ප්‍රධාන විශ්ලේෂක මයිකල් හෙව්සන් (Michael Hewson)මේ අතර පෙන්වා දී තිබේ.
ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ ද තෙල් මිල ඉහළ දැමිය යුතු දැයි යන්න පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එසේ තෙල් මිල ඉහළ දමනු ලබන්නේ නම් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණය කළ යුත්තක් බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා සඳහන් කර තිබුණි.

Share on Google Plus