කැබිනට් පදවි ගැන ජාත්‍යන්තර පිළිගැනීමක් අවශ්‍යයි - ජනපති

ලබන සතිය ඇතුළත නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, BBC සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එ්  පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, විද්‍යාත්මක පදනමින් යුතුව අමාත්‍යංශ සඳහා විෂයන් බෙදන ලද කැබිනට් මණ්ඩලයක් හඳුන්වා දෙන බවයි.
නව ඇමති මණ්ඩලය ජනතාවට පිළිගත හැකි ඇමති මණ්ඩලයක් විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්ත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කලේය.
විශේෂයෙන්ම නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට පත් කළ යුත්තේ කවුරුන් දැයි රට තුළ පසුගියදා විවිධ මතවාද පැවති බව බීබීසී සිංහල සේවය පෙන්වා දුන් අවස්ථාවේ එයට ප්‍රතිචාරය දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ට එහිදී ජාත්‍යන්තර වාතාවරණය ද සැලකිල්ලට ගැනීමට සිදු වූ බවය.
"ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව, ඒ ඒ විෂය පථය පිළිබඳව, ඒ වගකීම් දරන කෙනෙක් සම්බන්ධයෙන් රටෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තියෙන්න ඕන," ඔහු පැවසීය.
එම "අලුත් කැබිනට් මණ්ඩලයට" කෙතරම් පිරිසක් ඇතුළත් වන්නේදැයි විමසූ අවස්ථාවේ එයට සිනහවකින් ප්‍රතිචාරය දැක්වූ ජනාධිපතිවරයා "ඒකට තව සතියක් තියෙනවනේ" යනුවෙන් සඳහන් කළේය.
නිවේදනය කිරීමට යෝජිත අලුත් කැබිනට් මණ්ඩලය "පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදපු අමාත්‍යංශ" සහිත කැබිනට් මණ්ඩලයක් වන බව අවධාරණය කරමින්, චෝදනා ලැබ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පුද්ගලයන් යළිත් පත්කරන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කිරීම "දේශපාලන පක්ෂවල වගකීමක්" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.
"මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද ? නුසුදුසුද ? කියන එක. ඒක මගේ වගකීමක්."
එබැවින් "ජනතාවට විශ්වාස කළ හැකි" කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සිය වගකීම බව ඔහු සඳහන් කළේය.
Powered by Blogger.