නෙල්සන් මැන්ඩෙලාගේ දැවැන්ත ශක්තිය මිය යයි

දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට තිත තැබූ අමරණීය ජනපති නෙල්සන් මැන්ඩෙලාට අයෝමය ශක්තියක් වූ ඔහුගේ බිරිඳ විනී මැඩිකීසෙලා මැන්ඩෙලා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය පසු වූයේ, 81 වන වියේ ය.
දකුණු අප්‍රිකාවෙන් වර්ණ භේද වාදය තුරන් කිරීමට දශක තුනක් පුරා නෙල්සන් මැන්ඩෙලා අනේක විධ දුක් ගැහැට වින්දේ විනී මැන්ඩෙලා සමගිනි.
සිය ස්වාමි පුරුෂයාගේ යුග මෙහෙවරට ඇය ශක්තියක් වූවා පමණක් නොව ඇය එම ව්‍යාපාරයෙහි පුරෝගාමී චරිතයක් ද වූවා ය.
ඇය සිය ස්වාමි පුරුෂයා ද සමගින් සිරගත වූයේ ද, එම අරගලයේදී දැක්වූ දායකත්වය නිසා ම ය.
කෙසේ වෙතත්, වර්ණ භේද වාදය පිටුදැකීමේ ව්‍යාපාරයට ඇය දැක්වූ දායකත්වයේ ගෞරවය වසර ගණනාවක් ගත වෙද්දී දේශපාලනික වශයෙන් බොඳ වී ගියේ ය.
මේ අතර, ඇයගේ ජීවිත කතාව අළලා 2011 වසරේදී ‘විනී මැන්ඩෙලා’ නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය.
විවාහය
ඇය 1936 වසරේ උපත ලැබූ අතර පසුව සමාජ සේවිකාවක ලෙස සේවය කළා ය. 1957 වසරේදී නෙල්සන් මැන්ඩෙලා හමුවී 1958 වසරේදී ඔහු සමග විවාහ වූ විනී, දියණියන් දෙදෙනෙකුගේ මවකි.
පසුව 1963 වසරේදී නෙල්සන් මැන්ඩෙලා සිරගත කෙරුණු අතර ඔහු 1990 වන තෙක් නිදහස ලැබුවේ නැත. මෙම කාලය ඇතුළත විනී සහ නෙල්සන් වෙන්ව සිටි අතර 1992 වසරේදී ඔවුන් දෙදෙනා දික්කසාද වූහ.
දේශපාලනික දිවිය
විනී මැන්ඩෙලා 1994 සිට 1996 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ කලා, සංස්කෘතික, විද්‍යා සහ තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය.
මරණය
විනී මැන්ඩෙලාගේ ඥාතීන් පවසන්නේ, ඇය දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයක පසුවූ බව ය. ඒ අනුව, ඊයේ සවස් වරුවේ ඇය අවසන් හුස්ම හෙළූ බව ඔවුහු පවසති.
Share on Google Plus