ආණ්ඩුවේ යාන්ත්‍රණය ගොඩනැගිලි ඉදිකිරීම කොංක්‍රිට් දැමීමෙන් ඔබ්බට ගොස් ජනතාවට ප්‍රයෝජනවත් ලෙස ආර්ථික නිෂ්පාදන වැඩි කිරීම වියයුතු බවත්  එසේම ඒ  සෑම පියවරකම අරමුණ විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (28)  කිලිනොච්චිය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සහභාගී වෙමින්ය.

උතුරු  ප්‍රදේශයේ තරුණ තරුණියන්ට අප අනාගතයක් නිර්මාණය කර දිය යුතු බවත්  යුද්ධයෙන් අංග විකල භාවයට ලක් වූවන්ගේ ගැටලූ පවා  විසඳිය  යුතුව තිබෙනවා සේම  මේ සියලූ කටයුතු සමගින් ඉදිරියට යාමට අප උතුරු පළාත් සභාව සමග එක්ව වැඩකටයුතු කිරීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, අද මම මේ ප්‍රදේශයට පැමිණියේ කිලිනොච්චිය ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. උතුරු ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේ මට මේ ප්‍රදේශයේ ගැටළු පිළිබඳව දැනගැනීමට හැකියාව ලැබුණා. ශ්‍රීදරන් මන්ත්‍රීතුමා මෙහිදී පැවසූ කරුණු පාර්ලිමේන්තුවේදීත් කිහිපවරක්ම මට සමගත් පවසා තිබෙනවා. ඒ වගේම මාවෙයි සේනාධිරාජා මැතිතුමාත් මේ ප්‍රශ්න පිළිබඳ කිහිපවිටක්ම මා දැනුවත් කර තිබෙනවා. මා මෙහි පැමිණියේ එම කරුණු සහ සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමටයි. ශ්‍රීදරන් මන්ත්‍රීතුමා සිංහල සහ දෙමළ භාෂාවෙන් මට ලබාදුන් ලිපියේ සඳහන් කරුණු පිළිබඳව වාර්තා කිරීමටද මම එම කමිටුවට උපදෙස් ලබාදුන්නා.
ලංකාවේ දුප්පත්ම පළාත උතුරු පළාතයි !
ශ්‍රී ලංකාවේ පළාත් නවය අතුරින් දුප්පත්ම පළාත උතුරු පළාත බව අප මතක තබා ගත යුතුයි. යාපනය හැරුණු කොට කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවලට එම තත්ත්වය වැඩි වශයෙන් බලපානවා. වව්නියාව ප්‍රදේශයේ යම්කිසි දියුණුවක් ඇති වී තිබෙනවා. යාපනය දියුණු කරන විට එහි විසඳිය  යුතු තවත් ගැටළු කිහිපයක්ම තිබෙනවා. හමුදාව භාරයේ තිබෙන ඉඩම් නැවත ජනතාවට භාරදීම ඉන් විශේෂයි. යාපනය නගරය විශාල නාගරික දියුණුවක් කරා ගෙන යා හැකියි. එහිදී ජලය භාවිතය සහ අපතේ යැවීම පිළිබඳව විශාල ගැටළුවක් මතුවී තිබෙනවා. එම නිසා අප පළමුවෙන් අදහස් කරන්නේ යටිතල පහසුකම් දියුණු කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ යළි පදිංචි කිරීමේ කටයුතු වෙත පළමුවෙන් අවධානය යොමු කිරීමටයි.
මේ වනවිට එම වැඩකටයුතු වල යම් ප්‍රගතියක් ඇති වී තිබෙනවා. ඇතැම් ස්ථානවල යම් අඩුපාඩු ද දැකිය හැකියි. අදාළ ඇමැතිවරුන් සමග එම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල ජීවන තත්ත්වය ඉහළ දැමීම පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි.
රජරට, පොළොන්නරුව, ත්‍රීකුණාමලය ආදී ප්‍රදේශ සඳහාත් විශාල සංවර්ධන සැලැස්මක් 
1977 දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. එහි දියුණුව රටේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණත් උතුරු ප්‍රදේශයට එම දියුණුව පැමිණීමට පෙර යුද්ධය ඇති වුණා. නමුත් කෙසේ හෝ අප ඒ සංවර්ධනය නැවත ඇති කළ යුතුයි. මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමේදී ජලය ලබාගැනීම ඉතා වැදගත්. මල්වතු ඔය ජලාශය හරහා මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවල කොටසකට ජලය ලබාගත හැකියි. ඒ වගේම නුවර සිට හම්බන්තොට, මොණරාගල දක්වා විශාල සංවර්ධන වැඩසටහනක් අපි ආරම්භ කර තිබෙනවා. රජරට, පොළොන්නරුව, ත්‍රීකුණාමලය ආදී ප්‍රදේශ සඳහාත් විශාල සංවර්ධන සැලැස්මක් අප ඇති කර තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ යාපනය, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශත් මෙම සංවර්ධනයට ඇතුළත් කර ගැනීමටයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය යාපනයේ සිට හම්බන්තොට දක්වා ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කළ යුතුයි. එහිදී අපට පළමුවෙන්ම සංවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ කිලිනාච්චි ප්‍රදේශයයි. එහි පළමු අවශ්‍යතාවය වන්නේ ජලය ලබාගැනීමයි. ඒ වෙනුවෙන් වඩා විධිමත් ජල යෝජනා ක්‍රම ඇති කිරීම අවශ්‍ය වෙනවා. වර්ෂාව කාලයේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජලය ලැබෙනවා. වැසි නොලබන කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට වැසි වතුර ආරක්‍ෂා කිරීම ද කළ යුතුයි. වැසි වතුර ආරක්‍ෂා කිරීමේ ව්‍යාපෘති පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. රජරට රාජධානිය තිබෙන කාලයේ එහි කුඹුරු විශාල ප්‍රමාණයක් තිබුණේ මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශ තුළයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ජලය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ඒ කාලයේ තිබුණා. ඇතැම් ස්ථානවල වී වගා කෙරුණු අතර, ඇතැම් ප්‍රදේශවල ධාන්‍ය වර්ග වගා කෙරුණා. එම වැඩසටහන් අප නැවතත් ක්‍රියාවට නැංවිය යුතුයි.
උතුරේ  ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ වැඩසටහනක්
ඒ වගේම මෙම ප්‍රදේශයේ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. යාපනය, මන්නාරම, වව්නියා, ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ද දියුණු කළ යුතුයි. පරන්තන් ප්‍රදේශයේ කර්මාන්ත ශාලා ඇති කිරීමටත් අප අවධානය යොමු කරනවා. මේ සියලූ වැඩසටහන් සමගින් මේ ප්‍රදේශය දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි සොයා බලනවා.
1978 දී මෙම ප්‍රදේශය, දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. ඒ කාලයේ යාපනය ප්‍රදේශයෙන් කිසිවෙකුත් විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වුණේ නැහැ. මේ ප්‍රදේශය යුද බිමක් බවට පත්වීමෙන් පසුව නැවතත්  දියුණුව කරා ගෙන යාමට මා බලාපොරොත්තු වෙනවා. උතුරු දකුණු භේදයකින් තොරව අපට නැවතත් එකට එකතු විය හැකියි. යුද්ධය අවසන් වී තිබෙන නිසා මේ ප්‍රදේශත් අපේ ජාතික සැලසුම් සඳහා එක් කර ගත යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉඩම් ගැටළු විසඳීම සඳහා කිහිප වතාවක්ම යාපනය ප්‍රදේශයට පැමිණියා. මෙහි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සොයා බැලීමට අද මම මෙහි පැමිණියා. ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව ජනතාවට ප්‍රයෝජනයක් ඇති වන ආකාරයේ මේ ප්‍රදේශයේ ආර්ථික නිෂ්පාදනය වැඩි කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
දළ දේශීය නිෂ්පාදනයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමට පියවර 
මේ රටේ දළ දේශීය නිෂ්පාදනයට කිලිනොච්චිය ප්‍රදේශයෙන් ලැබෙන දායකත්වය තවත් දශම එකකින් හෝ වැඩි කර ගත යුතුයි. එවිට ඉදිරියේදී එය තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී නැවතත් මේ ප්‍රදේශවලට පැමිණ මෙම සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සොයා බැලීමටත් මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘතියක් අප ආරම්භ කළ යුතුයි. පරන්තන් ප්‍රදේශයේ ඉඩම් ලබාගැනීමෙන් පසුව මම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් සමග සාකච්ඡා කරනවා. අප යුද්ධයෙන් පීඩාවට පත් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබාදිය යුතුයි. ඒ වගේම අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමගත් සාකච්ඡා කළා. ඔවුන් ඉදිරියේදී කිලිනොච්චිය ප්‍රදේශයට පැමිණෙන බව මට පැවසුවා. එවැනි මානුෂික ගැටළු විසඳීමටත් අප සූදානම්.
උතුරු පළාත් සභාව සමඟ වැඩ කිරීමට සුදානම් !
මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට අප අනාගතයක් නිර්මාණය කර දිය යුතුයි. යුද්ධයෙන් අංග විකල භාවයට ලක් වූවන්ගේ ගැටලූ පවා අප විසඳිය  යුතුයි. මේ සියලූ කටයුතු සමගින් ඉදිරියට යාමට අප උතුරු පළාත් සභාව සමග එක්ව වැඩකටයුතු කිරීමට සූදානම්. මහ ඇමැතිතුමා සහ ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. ඉදිරියේදී ජනතාවගේ ආර්ථිකයේ ප්‍රගතියක් ඇති වෙනවා ද යන්න පිළිබඳව අප විමසා බලනවා. දේශපාලනය හරහා සිදු කළ යුත්තේ එයයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වන ප්‍රගතියට අනුව මේ ප්‍රදේශයට අවශ්‍ය  මුදල් වෙන් කරනවා. ගුරුවරුන්ට ගැටළු තිබෙනවා නම් එය අපට දන්වන්න. අධ්‍යාපන ඇමැතිතුමා හරහා ඒවා විසඳාදීමට හැකියි. උපාධි ධාරීන්ට ඉදිරි මාස කිහිපයේදීත් රැකියා ලබාදෙන බව මම අවසාන වශයෙන් පැවසීමට කැමැතියි.