ලන්දේසි යුගයෙන් පසු කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග දෙකක්.


කැළණි ගඟ ලංකාවේ සෞභාග්‍යයේ දොරටුව බවට නැවතත් පත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද(30) දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

මෙම මාධ්‍ය හමුව කොළඹ නගරයේ ගංවතුර පාලනය සඳහා නව උමං මාර්ග දෙකක් සැලසුම් කර ඉදිකිරීම සඳහා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි. අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ මහතා සහ චයිනා පෙට්‍රෝලියම් සමාගම වෙනුවෙන් ඩොංග් සු මහතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘කොළඹ නගරයට අද ඉතාම වැදගත් දිනයක්. ගංවතුර මේ දවස්වල හැමෝම කතා කරන දෙයක්. කොළඹ නගරය තිබෙන්නේ කැළණි ගං මිටියාවතේ, එය අපි කවුරුත් දන්නවා පහත් බිම් ප‍්‍රදේශයක්. මේ නිසා කොළඹ නගරය හා අවට ප‍්‍රදේශය ගංවතුරෙන් මුදවා ගැනීම සඳහා වතුර බැසයාම විධිමත් කිරීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්.  මේ සඳහා ඩොලර් මිලියන 321 විශාල ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මකයි. එයින් ඩොලර් බිලියන 214ක් ම ලබා දෙන්නේ ලෝක බැංකුව මගින්.

කොළඹ නගරය වැදගත් නගරයක් ලෙස ඉදිරියට යාමට නම් ජලනල පද්ධතිය, අපජල පද්ධතිය සහ මලාපවහන පද්ධතිය විධිමත් විය යුතුයි. මෙම පද්ධති වසර 150 ක් පරණයි නම් අපට නගරයක් විධිමත්ව  පවත්වාගෙන යන්න බැහැ. මතුපිටින් ලස්සන කළාට වැඩක් නැහැ. යටින් තිබෙන්නේ ඉතාම කැත යතාර්ථයක්. කොළඹ ජලය බැසයන මුතුවැල්ලේ තිබෙන උමග තනා තිබෙන්නේ  ඕලන්ද සමයේ. එම උමග තැනුවට පස්සේ විශාල වශයෙන් ජනාකීර්ණ වෙලා තිබෙනවා නගරය. නමුත් ජලය බැසයාමේ කි‍්‍රයාවලියක් සකස් කර නැහැ. එම නිසා අපි උමං සහ වසන ලද කාණු පද්ධති ගණනාවක් ඉදිකිරීම ආරම්භ කළා මෙම ව්‍යාපෘතියෙන්, දිගුකාලීන වෙනසක් නගරයට ඉතාම අත්‍යාවශ්‍ය නිසා.

කොළඹ නගරයේ භූගත කටයුතු සිදුකිරීම ඉතාම අපහසුයි. මොකද දුරකථන පද්ධති, විදුලි රැහැන් පද්ධති වැනි විවිධ  රැහැන් පද්ධති තිබෙන නිසා. නමුත් අද බොරැල්ල ප‍්‍රදේශයේ පද්ධතිය විධිමත් කරන්න අපට හැකිවී තිබෙනවා. දේවි බාලිකා විද්‍යාලය හරහා හීන් ඇල දක්වා සම්පූර්ණ ඇල මාර්ගයක් සාදා අවසන් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සිදු කිරීමේ දී සමාජ ප‍්‍රශ්න, පරිසර ප‍්‍රශ්න වැනි නොයෙක් දේවල්වලට මුහුණ දීමට සිදුවෙනවා. නමුත් කිසිම ගැටළුවක් නැතිව කොළඹ මහනගරය මැද්දෙන් එම පද්ධතිය ඉදිකරන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලය, කින්සි පාර හරහාත් නල පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා. එය මේ වසරේ අගභාගයේ අවසන්වීමට නියමිත අතර ඒ හරහා බොරැල්ල කනත්ත ප‍්‍රදේශයේ සිදුවන ජල ගැලීම් තත්වයන් පාලනය වෙනවා. ඊ ළඟ බරපතල ගැටළුව වන මලලසේකර මාවත, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුළු නිදහස් චතුරස‍්‍රය සහ කොළඹ 7 ප‍්‍රදේශයත්, උතුරු කොළඹ ප‍්‍රදේශයේ අලූත් මාවත ගංවතුර පාලනය සඳහා තමයි මේ මුතුවැල්ල නව උමග පැරණි උමගට සමාන්තරව මීටර් 750 ක දිගකින් සහ මීටර 3 ක පළලකින් ඉදිකරන්නේ අතිරේක වතුර ගෙනයන්න. 

අනෙක් උමග ටොරින්ටන් වල සිට කි.මි. 1.2 කින් සහ මීටර 3 ක පළලකින් යුතුව බෞද්ධාලෝක මාවත යටින් බම්බලපිටිය මුහුද දක්වා ගමන් කරවීමට බලාපොරොත්තු වෙනවා. ලන්දේසි  යුගයෙන් පසුව කොළඹ නගරයේ විධිමත් ජල ප‍්‍රවාහනයකට සකස් කරන පළවෙනි අවස්ථාව අපටත් ලොකු අත්දැකීමක් වෙනවා. මේ සඳහා අපි නව තාක්ෂණය භාවිත කරනු ලබනවා. උමග විදීම සිදු කරන යන්ත‍්‍රය මගින් උමග විදගෙන යෑමේදීම කොන්ක‍්‍රීට් කිරීම සිදු වෙනවා. එනිසා කාන්දු වීම් වැනි ගැටළු පැන නගින්නේ නැහැ. ඒ වගේම මුතුවැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් 63 දෙනෙක් නිවාස ලබාදී ඉවත් කළා. ඒ වගේම තමන්ගේ නිවස යටින් උමග යන අයගේ කැමැත්ත මත වන්දි ලබාදීම සිදු කරනවා. ඒ අයත් සමග වර්ෂයක පමණ කාලයක් සාක්ච්ඡා කළා බලහත්කාරයෙන් සිදුකරන්න බැරි නිසා.

දැනට නාගලන්වීදියේ පොම්පාගාරය පටන් ගෙන තිබෙන අතර කොලොන්නාවේ, අඹතලේ පොම්පාගාරයේ වැඩකටයුතුත් මෙම වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් මෙම ප‍්‍රදේශයේ වතුර ගඟ වෙත පොම්ප කිරීමේ හැකියාව ඇතිවෙනවා. ඊට අමතරව වැල්ලවත්ත ඇල මාර්ගයත් පිළිසකර කිරීම සිදුවනවා එමගින් ජලය ගෙනයාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හදිසි තත්වයක් ඇතිවුවහොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමග එක්ව පොම්ප කිහිපයක් ගෙනවිත් තිබෙනවා. ඒවා කි‍්‍රයාත්මක කරලා ගඟ දෙසට ගංවතුර පොම්ප කිරීමට හැකියාව තිබෙනවා. ඊ ළඟට වැදගත් ප‍්‍රදේශය වන කොලොන්නාව කිත්තම්පහුව ඇල කොටස් තුනකින් යුතුව සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවන අදියරේ වැඩකටයුතු ආරම්භ වී තිබෙනවා. එහිදී අනවසර ඉදිකිරීම් නිසා නොයෙක් ගැටළු පැණ නැගී තිබෙනවා. ඒ අයත් සමග සාකච්ඡා කර යම් ප‍්‍රමාණයකට ඊ ළඟ අදියරේ වැඩකටයුතුත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී මම සඳහන් කළ යුතුයි මෙම මොන ව්‍යාපෘතිය සිදු කළත් කොළඹ සහ අවට ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා  ඉතාම බලගතු ව්‍යාපෘතියක් රටට අවශ්‍යයි. එය රැස්වීම්වල ජනපි‍්‍රය වීම සඳහා සිදුකරන කතා නෙමෙයි. එය තමයි කැළණි ගඟෙ බහුකාර්ය යෝජනා ක‍්‍රමය. මහවැලි ගඟට වගේ කැළණි ගඟටත් බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් අවශ්‍යයි. අපේ අමාත්‍යාංශය මගින් එය යෝජනාව ඉදිරිපත් කළ පසු රජය මගින් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. කැළණි ගඟෙ වැඩි වතුර වියලි ප‍්‍රදේශවලට ගෙන යාමත් ගංවතුර පාලනය සඳහා ඉංගීසීන්ගේ කාලයේ ඉදිකර තිබෙන වේලි පද්ධති ශක්තිමත් කිරීමත්, කැළණි ගඟ කිසියම් දුරකට ප‍්‍රවාහන කටයුතු සඳහා යොදවා ගැනීමත්, කොළඹ නගරයේ පානීය ජල ප‍්‍රශ්නය විසඳීම සඳහා කැළණි ගඟෙ ජලය තවදුරටත් උපයෝගි කර ගැනීමටත් එම බහුකාර්ය යෝජනා ක‍්‍රමයේ අපි යෝජනා කර තිබෙනවා. එය තමයි දිගු කාලීනම විසඳුම. ලෝකයේ සෑම දියුණු රටක්ම දියුණුව කරා යාමට ගංගා ද්‍රෝණිය හරි වැදගත් වී තිබෙනවා. ලන්ඩන් නගරය තේම්ස් නදිය නිසාත්, ජර්මනියේ බර්ලින් නගරය හැම්බර්ග් වරාය, ප‍්‍රංශයේ පැරීසියේ තේම්ස්, චීනයේ පර්ල් නදිය වැනි ගංඟ නිසා එම නගර දියුණුවෙන් දියුණුවට පත්වී තිබෙනවා. එම රටවල්වල ගංඟාව තමයි සෞභාග්‍යයේ දොරටුව. කැළණි ගඟ තමයි අපේ කුණු කන්දල් ටික පිට කරන, අපද්‍රව්‍ය ටික පිටකරන සංවර්ධනයේ විලාපය බවට පත්වී තිබෙන්නේ. ඒ වෙනුවට කැළණි ගඟ ලංකාවේ සෞභාග්‍යයේ දොරටුව බවට නැවතත් පත් කළ යුතු යැයි ද පැවසීය.  

Share on Google Plus