2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකවරු සහ රටේ අනාගතය. (Lanka dna).



විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් 1978 2 වන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වීමත් සමඟ යළිත් වතාවක් විධායක ජනාධිපති ක්‍රමය සහ 2020 ප්‍රථම පැවැත්විය යුතු මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී පවතී.

2018 පෙබරවාරි මාසයේ 10 දිනයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමස්ත ශ්‍රී ලංකාවෙන්ම 46%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ජයග්‍රහනය ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඒකාබද්ධ පොදු ජන පෙරමුණ ලෙස එක්ව 2019 වර්ෂයේ නොවැම්බර් මාසයෙන් පසුව පැවැත්විය යුතු ජනධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානම මේ වන විට දේශපාලන රහසක් නොවේ.

පිවිතුරු හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ මතය වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.ඔවුන් ඒ සඳහා තාර්කික පදනමක් ලෙස දක්වන්නේ ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යම පාන්තික ප්‍රජාව තුළ මෙන්ම ග්‍රාමීය ප්‍රජාව තුළද පැවති 30 වසරක යුද්ධය නිමා කිරීමට පහසු වූයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සකස් කරන ලද ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ සැලසුම් නිසා බවත්,යුද්ධ ජයග්‍රහණයෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය තමා යටතට පවරාගෙන කොළඹ මෙන්ම බොහෝ ජනාකීර්ණ නගර වල පොදු වෙළදපොළ,නාගරික උද්‍යාන,ව්‍යායාම් මංතීරු සකස් කරමින් ක්‍රමානුකූල සංවර්ධනයක් ඉතාම කෙටි කාලයකදී සිදු කිරීමේ මතකය ජනතාව තුළ පවතින නිසා ඉතාම පහසුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවයි.සිංහල බෞද්ධ බහුතර ජනතාවක් තුළ ගෝඨාභය රාජපක්ෂ නාමය පිළිබඳව මහත්වූ බලාපොරොත්තුවක් පවතින බවද පිවිතුරු හෙළ උරුමය පාර්ශවයේ තර්කය වී තිබේ.

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ තුළ සිටින වාමාංශික නැඹුරුවක් ඇති ලංකා සමසමාජ පක්ෂය තිස්ස විතාරණ පිළ, මහජන එක්සත් පෙරමුණ දිනේෂ් ගුණවර්ධන පාර්ශවය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වාසු පිළ ඉදිරිපත් කරන තර්කය වනුයේ පරිණත දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය මේ වන විට රට තුළ පවතින නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවර‍යාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ 19 වැනි සංශෝධනය ප්‍රකාරව යළිත් ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි නිසා ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඒකාබද්ධ පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ යුතු බවය.තවදුරටත් කරුණු දක්වමින් වාසුදේව නානායක්කාර මහතා තර්ක කළේ යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණ අපේක්ෂකයා වුවහොත් උතුරේ සහ වතුකරයේ දෙමළ ඡන්ද පදනම මෙන්ම මුස්ලිම් ජනතාවගේ ඡන්ද පදනම එක පොකුරට එක්සත් ජාතික පක්ෂය සහාය ලබා දෙන ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරණ අපේක්ෂකයාට ලැබීමේ ඉඩක් පවතින බැවින් එය වළක්වා ගැනීමටනම් අනිවාර්යයෙන් චමල් රාජපක්ෂ මහතා වැනි මධ්‍යස්ථ නායකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ප්‍රසන්න රණතුංග මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඉතාම හොඳ සංවිධාන හැකියාවක් ඇති දේශපාලන උපක්‍රමශිලී දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාවගේත් ඡන්ද පදනම ඇති බැසිල් රාජපක්ෂ මහතාව මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයා කළ යුතු බවයි.ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ග්‍රාමීය සංවර්ධනයට විශාල සේවයක් සිදු කළ බැසිල් රාජපක්ෂ මහතා හට ග්‍රාමීය ජනතාව තුළත් හොද පිළිගැනීමක් ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.

මේ තුන්කොන් අර්බුදයේ සියලු තොරතුරු දැන ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටින අනුගාමිකයෝ විසින් කොළඹ ෂ්‍රැන්ගිලා හෝටලයේදී 'වියත් මඟ' සම්මන්ත්‍රණයක් සූදානම් කළ ඔවුන්ගේ ප්‍රතිපත්ති රටට ප්‍රසිද්ධ කළේය.එහිදී ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඉදිරිපත් කර ආර්ථික වැඩපිළිවෙල '2025 දී පොහොසත් රටක් නමින් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ තිබෙන' ආර්ථික වැඩසටහනේම කොපියක් විය.එහි රාජ්‍ය ව්‍යවසායන් ලාභ උපයන තත්වයට ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලද ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය.

තමන්ට සුළු ජන වර්ගවල ඡන්ද පදනම නොමැති බවට වන ප්‍රසිද්ධ තර්කය බිඳ දැමීමට වෙහෙසෙන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බේරුවල මුස්ලිම් පල්ලියේ ඉෆ්තාර් උත්සවයකට සහභාගි වී සිදු කළ ප්‍රකාශය විකාශය වීමත් සමඟ ගෝඨාවාදී බොහෝ බෞද්ධ ජනතාව මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහත් කම්පාවට පත්වී තිබේ.මේ අනූව පෙනී යන්නේ දේශපාලන සිවිල් සමාජ අත්දැකීම් නොමැති මිලිටරි ජීවිතයකට හුරු වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති ජනරල් සරත් ෆොන්සේකා මෙන්ම ආවේගශීලී අනුවණ කතා අවස්ථාවාදී ලෙස කීමට යාමෙන් ජනතා අපකීර්තියට පත් වීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂය පාර්ෂවයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණ සහ සාකච්ඡා අනූව තහවරු වන්නේ මීළග ජනාධිපතිවරණයට අලියා ලකුණෙන් 'එක්සත් ජාතික පෙරමුණ' ලෙස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරනු ඇති බවයි.අග්‍රාමාත්‍යධුර අපේක්ෂකයින් ලෙස අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක,සජිත් ප්‍රේමදාස,මංගල සමරවීර සහ රාජිත සේනාරත්න සිව් දෙනාම ඉදිරිපත් කළ එළඹෙන මහ මැතිවරණ ප්‍රතිඵලය පාදක කරගනිමින් හුවමාරු ක්‍රමයට මේ සිව් දෙනාම වරින් වර අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමේ සැලසුමක් පිළිබදව මේ වන විට ආරංචි ලැබී තිබේ.

මීළගට පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට ආර්ථික,පාරිසරික,කර්මාන්ත සහ අධ්‍යාපනික තාක්ෂණ අංශයන්හි බලගතු ඉදිරි පිම්මක් පැනීමේ දැනුමක් සහ අවංක කැපවීමක් ඇති පුද්ගලයෙකු විය යුතුමය.ඔහුගේ මීළග සිහිනය තම දූ පුතුන් ඔටුණු පැළැන්දවීමකට පටු නොවිය යුතුය.


- නිදහස් මාධ්‍යවේදී / නීති ශිෂ්‍ය ඉෂාර ලක්මිණ.





Powered by Blogger.