බැදුම්කර වාර්තාවේ හොඳම කොටස - අවුරුදු 30ක් අඳුරු ගුහාවක


වත්මන් රජය බැඳුම්කර වාර්තාවේ හොඳම කොටස  ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කියන අඳුරු ගුහාවේ අවුරුදු 30කට සඟවා තැබීමට බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. 

අද (31) පස්වරුවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවැසීය.  

බැදුම්කර වාර්තාවේ සී 350 අමුණුම ලෙස නම් කොට ඇති රහස් පොලිස් වාර්තාවේ පිටපතක්  ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දුගෙන් ඉල්ලීමක් කළ කළ බවත්  එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් තමන් වෙත වාචිකව දැන්වූ බවත් ඒ අනුව තමන් අද දිනයේ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පිවිස එම වාර්තාවේ අදාල ඇමුණුම ලබාගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ගිය බවද තෙන්නකෝන් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නෙකෝන්,

“අපි පහුගිය  බැදුම්කර  ගණුදෙනුව  සම්බන්ධ කාරණාව මුලින්ම රටට හෙළිකරාට පස්සේ ඒ ගැන දැඩි අවධානය යොමුවෙලා අවසානයේ ඒ මගඩියට සම්බන්ධ ඇතැම් පිරිස්  අද වෙනකොට දඩුවම් විඳිමින් ඉන්නවා.

මේ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරපු ජනාධිපති විමර්ෂණ කොමිසම සකස් කරපු වාර්තාවේ සී 350 අමුණුම නොමැතිව තමයි එළියට දැම්මේ. ඒ ඇමුණුමේ සඳහන් වෙනවා මේ ගණුදෙනුවට සම්බන්ධ බොහෝ කරුණු. 

අපි ඒ ඇමුණුම ලබාදෙන්න කියලා පහුගිය ජනවාරි 18 වෙනිදා  ගරු ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලුවා, කථානායකවරයාගෙන් ඉල්ලුවා. නමුත් ලැබුනේ නෑ.

පසුව මේ ගැන අපි  ජනාධිපති ලේකම් වරයාගෙන් කරපු විමසීමකදී ඔහු කිව්වේ එහි පිටපත් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ  තියෙනවා කියලා.  

දැන් ඇවිල්ලා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇහුවම කියනවා අවුරුදු 30 ක් යනකල් ජනාධිපති විමර්ෂණ වාර්තා  දෙන්න බෑ කියලා. 

මෙතනින් කියවෙන්නේ මොකක්ද මේ තරම් ප්‍රබල වංචාවක්ගැන, ඒකට සම්බන්ධ අනිත් පුද්ගලයින්ගේ නම්  ගම්,  තොරතුරු  තව අවුරුදු 30ක් යනකල් සේ අඳුරු ගුහාවේ හිරකරලා මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ?

අපි වගකීමෙන් කියනවා තව අවුරුදු 30 කින් ඔය ගණුදෙනුව ගැන මේ හංගන තොරතුරු කිසිවෙකුට වැදගත් වෙන්නේ නෑ. 

මේකෙන් පේන්නේ  මේ නීති හදන තැන  ඉන්න බොහෝ පුද්ගලයෝ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ, ජනමාධ්‍යෙව්දීන් ඇතුලු තවත් වෘත්තීන් වල නිරත බහුතරයකගේ නම් ගම් විස්තර මේ වාර්තාවල තියෙනවා. 

ඒ නිසා ඒවා එලියට නොදා ඉන්න රජය හැකිතරම් උත්සහදරමින් සිටින බව ඉතා පැහැදිලියි.“ යනුවෙන් පැවසීය.
Powered by Blogger.