පොලිස්පති එලවන බව ජනපති කියයි





පාතාල අපරාධකරුවන් හිස එසවීමට පටන්ගෙන ඇති බවට රජයට එල්ලවන චෝදනා වල සත්‍යයක් ඇතැයි පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවිය යුතු අතර එසේ නොමැති නම් ඊට අදාළ වගකිව යුත්තන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් අය පත් කිරීමට සුදානම් බව කියා සිටියි.
ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ,  ඒ පිළිබඳ ප්‍රමුඛ වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවයි.
වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
නීතියේ ආධිපත්‍යය :

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ කිසිවෙකු දේශපාලනඥයන් පසුපස යන පසුබිමක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවයි.

එවැනි පසුබිමක් නිර්මාණය වීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක් තුල තම රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

පරිගණක අපරාධ බරපතල කාරණයක් :

රට තුල තහවුරු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසිය. 

පරිගණක සහ ජංගම දුරකථන අපරාධ පිළිබඳ වර්තමාන වාර්තා ඉතා කණගාටුදායක වන අතර එම බරපතල තත්වය පිළිබඳ අදාළ සෑම අංශයක් විසින්ම තීන්දු තීරණ ගත යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රීලංකා මිරර්



Powered by Blogger.