පර පණ රකින්නට ගිය පොලිස් මිතුරා නිහඩ වෙයි


ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර නාවික හමුදාව විසින් අද (27) උදෑසන සොයාගෙන තිබෙනවා.

අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ එහායින් තිබී සිරුර සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලිසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නම් වූ 29 හැවිරිදි අයෙක්.

අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙම පොලිස් නිලධාරියා විසින් බේරා ගැනීමට උත්සහ කිරීමේ දී ඔහු මෙලෙස ගසා ගෙන ගොස් තිබෙනවා.

පසුගිය 25 වනදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන් වී තිබුණා. පර පණ නසා හෝ තම දිවි රැකුමට දතකනා මිනිසුන් අතිශය බහුතරයක් ජිවත් වන්නා වූ සමාජයක. තම දිවි පුද කර මිනිසුන් සුරැකීමට පෙරට ආ ඩිලාන් ලා සදා සිහිපත් කල යුතුමය. 
Share on Google Plus