ලිංගික අල්ලස් - සංවර්ධන නිළධාරී පත්වීම් සහ කඩවුණු පොරොන්දුව

උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ලෙස බදවාගැනීමේ ප්‍රවෘත්ති නිවේදන පළකොට මේ වන විට මාස දහයක් ඉක්ම වී ගොස් තිබේ.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ජූනි මස 01 වනදා පසුවන විට එය කඩවුණු පොරොන්දුවක් වී හමාරය.

ඒ කෙසේ වෙතත්, මේ වන විට සිදු කෙරෙන සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා මෑතකදී දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණ අවස්ථාවේ, ඒ සඳහා පෙනී සිටි ඇතැම් තරුණියන් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිටි ඇතැම් පුද්ගලයින් විසින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් කර බවයි.
අප්‍රේල් මස අග දිවයිනේ යම් ස්ථානයක පැවති එවැනි සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි උපාධිධාරී තරුණියක් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට "බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටීදැයි" ඇසීම පෞද්ගලිකත්වයට අනිසි ලෙස එබිකම් කිරීමක් යැයි හැඟෙන බවය.
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය තමන්ගෙන් පෞද්ගලික කරුණු වැඩි වශයෙන් විමසු බවය.

රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් සාමාජිකත්වය දරන එක් ෆේස්බුක් කණ්ඩායමක (Group) අදහස් දක්වමින් තරුණියක් කියා සිටියේ තමන් විවාහක දැයි එහි සිටි එක් නිලධාරියෙකු තමන්ගෙන් විමසන ලද බවය.
සිය අධ්‍යාපන සහතිකවලට වඩා මෙවර සම්මුඛ පරීක්ෂණයේදී බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව පැවසු උපාධිධාරී තවත් තරුණියක් කියා සිටියේ සිය ක්‍රීඩා සහතික ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් තමා කඩුලු පැන ඇත්දැයි "අමුතු ආකාරයකට" විමසූ බවය.
"ආ මෙයා කඩුලුත් පැනලා තියෙනවා," යනුවෙන් පවසමින් එම නිලධාරියා සෙසු නිලධාරීන් දෙදෙනාගේ මුහුණු දෙස බැලූ බව අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?,"
"ඔයා බැඳලද?,"
"ඔයා කඩුලුත් පැනලා තියෙනවා නේද?,"
"ඔය කියන විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්න කියලා පෙන්නනවද?,"
ඉහත දැක්වෙන්නේ ඥාති මිත්‍රයෙකු හෝ මංගල කපු මහතෙකු විසින් තරුණියකගෙන් අසන ලද ප්‍රශ්න නොවේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිරිනමන ලද විදෙස් ශිෂ්‍යත්වයක් ලබා උපාධිය සම්පූර්ණ කරන ලද තවත් තරුණියක් කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් විසින් තමන් "හාස්‍යයට සහ අපහසුතාවට" ලක්වන ආකාරයේ කරුණු විමසන ලද බවය.
"යුජීසී එකේ සහතිකය තිබියදීත් ඔහු මගෙන් ඇහුවා මේ විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ලබා දෙන ශිෂ්‍යත්ව ගැන මේ නිලධාරීන්ට අවබෝධයක් නැහැ," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසන පරිදි රැකියා බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් සංඛ්‍යාව පනස් හත්දහසකට ආසන්නය.
උපාධිය නිම කර රැකියාවක් නොමැතිව වසර ගණනක් නිවසේත් මහමගත් කල දවස ගෙවෙන තරුණ තරුණියන් මුහුණ දෙන මානසික පීඩාව අතිමහත්ය.
71 සහ 88, 89 දකුණේත් තිස් වසකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා සිවිල් යුද්ධයක් ලෙස පුපුරා යාමටත් තරුණ අසහනය එක් හේතුවක් වූ බව ඇතැම් සමාජ විද්‍යාඥයන්ගේ අදහසය.



Share on Google Plus