සන්සුන් සැමරුම් හා හමුදා දන්සැල්


සුගිය සතියේ කොළඹ මාධ්‍ය හා සමාජ මාධ්‍ය, රාජිත සේනාරත්න විරෝධී ශුද්ධ යුද්ධය සඳහා කැප කෙරුණි. එළඹෙන සතියේ දී නව නිමිත්තක් ගංවතුරෙන් හෝ සපයා නොදුන්නොත් දේශප්‍රේමය ඒ සුමානයේදී නඩත්තු කිරීම ද සෞඛ්‍ය ඇමතිවරයාටම භාර ය. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් අඩුම වශයෙන් ඊට අදාළ නිමිති දෙකක් සපයා දී තිබේ. පළමුවැන්න, යුද්ධයේදී දෙමළ සිවිල් වැසියන් ද මියයන්නට ‘ඉඩ ඇති’ බව කීම ය. දෙවැන්න, එසේ මළවුන් සැමරීමට දෙමළ ජනයාට ද අයිතියක් ඇතැයි කීම ය. සිංහලයන්ට එරෙහිව තිත් නහුතයක් කුමන්ත්‍රණ දියත්කොට ඇති ‘ජාත්‍යන්තරයට’ මේ වැනි ප්‍රකාශ වාසිවනු ඇතැයි පෙන්වා දුන් කොළඹ රණකාමී මාධ්‍යකරුවෝ, ඒ ‘කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තරය’ විසින් පවා කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි පිළිගෙන ඇති හෙයින් කොටි සමරන්නට ඉඩ නොදිය යුතු බව විචක්ෂණශීලීව පෙන්වා දුන්හ. ඒ එඩිතර මාධ්‍ය මැදිහත්වීම් නොවන්නට, රාජ්‍ය පාලකයෙකු විසින්ම කළ රාජ්‍ය විරෝධී ප්‍රකාශයන්ගේ ගොදුරක් බවට පත්ව ශ්‍රී ලංකා රජය අවසන් වන්නට තිබුණේ ගිය  සුමානයේදී ය.
මුලතිවු වෙරළට රැස් වී ‘තමන් අතරින් වෙන්වූවන්’ සමරන්නට යන දෙමළ වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉයක්කච්චි හා මුල්ලිවයික්කාල්හි දී බීම දන්සැල් දැමූ බව යුද හමුදා වෙබ් අඩවිය ඔස්සේම වාර්තා කර සිටියේ මේ අතරවාරයේදී ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාවන් විසින් එකදු සිවිල් වැසියකු හෝ ඝාතනය නොකොට ‘ලෝකයේ විශාලතම මානූෂීය මෙහෙයුම’ සාර්ථකව හමාර කළ නම අවුරුද්දකින් පසු සිය මළවුන් සමරනු වස් මුල්ලිවයික්කාල් වෙරළට ආ ගිය ජනයා විෂයෙහි හමුදා සෙබළුන් සිසිල් පැන් දන් දුන් බැව් ප්‍රකාශිත ය.
පළමු ප්‍රවෘත්තියෙන් කුපිතව ආණ්ඩුවට බැන අඬගැසූවන්, දෙවන ප්‍රවෘත්තියෙන් නිවී සැනසුනහ. නොමළ සිවිල් වැසියන් සමරන්නට යනවුන්ට සිසිල් පැන් දීම මගින්, සිවිල් වැසියන් ද යුද්ධයෙන් මියගිය බව ‘ජාත්‍යන්තරය’ හමුවේ පිළිගනු ලැබ ඇතැයි කිසිවකු උරණව දොස් නොකීය. ඒ අනුසාරයෙන් එළඹිය හැකි විපරීත නිගමනය මෙසේ ය: ‘මානුෂීය ගුණයෙන් අනූන අපේ හමුදා යුද්ධයේදී දෙමළ සිවිල් වැසියන් මරා දැමුවේ නැත. නමුත් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් සමරනු සඳහා රැස් වූ දෙමළ ජනයාට සිසිල් පැනින් සංග්‍රහ කිරීමෙන් පෙන්නුම් කරන ලද්දේ අපේ හමුදාවන්ගේ මානුෂීය ගුණයයි.’
බැලූ බැල්මට විරුද්ධාභාසයක් සේ පෙනෙන මේ තර්කනය යටින් දකුණේ  ජනප්‍රිය අධිපතිවාදයේ සදාතනික දේශපාලන උභතෝකෝටිකය සැඟව තිබේ. දෛව චක්‍රයක කරකැවෙන ඒ උභතෝකෝටිකය සැකෙවින් දක්වතොත් මෙසේ ය:
‘දෙමළ ජනයා ජීවත්වූයේ කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් වශයෙනි. එනයින් දෙමළ ජනයා සහ කොටි යනු එකිනෙකට සම්බන්ධයක් නැති, පසමිතුරු ප්‍රපංච දෙකකි. රාජ්‍ය යුද මෙහෙයුම්වල අරමුණ වූයේ ප්‍රාණ ඇපයට ගන්නා ලද දෙමළ ජනයා කොටි ග්‍රහණයෙන් ගළවා ගැනීම ය. ඒ මෙහෙයුම්වල දී අවිගත් කොටි සාමාජිකයන් හැර සාමාන්‍ය දෙමළ ජනයා මිය නොගියේ එබැවිනි. ඒ අනුව මියගිය සියල්ලෝ කොටි සාමාජිකයන් සේ සැළකෙන අතර දිවි ගැළැවුණු බහුතරය සිවිල් වැසියන් සේ සැලකෙයි. යුද්ධය නිමා වූ පසු කොටි නැති දෙමළ ගම්බිම්වල ජනයා සතුටින් ජීවත්වෙති. ලේ දන්සැල් ද, බත් දන්සැල් ද, බීම දන්සැල් ද සංවිධානය කරන හමුදාවෝ දෙමළ ජනයා හා සහජීවනයෙන් දිවි ගෙවති.  නමුත් ආර්. සම්බන්ධන්ගේ සිට සී.වී. විග්නේස්වරන් හරහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් දක්වා දෙමළ දේශපාලකයෝ කොටි අවතාර වෙති. ඔවුන් වෑයම් කරන්නේ කොටි සංවිධානය පණ ගන්වා ගැනීමට ය. දෙමළ ජනයාගේ මුල් ඉඩම් ඉල්ලා සිටින්නේත්, හමුදා ඉවත් කරගන්නැයි බල කරන්නේත්, සිංහල ජනාවාසකරණයට විරෝධය පාන්නේත් ඔවුන් විසිනි. නමුත් කොටි ග්‍රහණයෙන් ගළවාගන්නා ලද දෙමළ ජනයා ස්වකීය ඡන්දයෙන් යළි යළිත් පත් කරගන්නේ ඔවුන් ය. ඒ හේතුවෙන් කොටි යළිත් නැගිටීමට ඉඩ තිබේ. එසේ වූ විට දෙමළ ජනයා කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙති.’
ඉක්බිති, මුල සිට යළිත් වටයකි.   
ස්වයං විසංවාදී මේ විෂම චක්‍රය පූර්ණ වටයක් ගිය විට අධිපතිවාදයේ ජනප්‍රිය විශ්වාසයන් තාර්කිකව නිරායුධ කරයි. ඒ අනුව එක්කෝ දෙමල ජනයා සහ කොටි සංවිධානය අතර සම්බන්ධය ගැන කල්පිතය වැරදි ය. නැතහොත් හමුදාව සහ දෙමළ ජනයා අතර ඇති සම්බන්ධය ගැන කල්පිතය වැරදි ය. මේ දෙකම නැතිනම්, යට කී දෙමළ දේශපාලකයන් සහ කොටි සංවිධානය අතර සම්බන්ධය ගැන කල්පිතය වැරදි ය. ඒ වැරැද්ද  ඒත්තු ගැන්විය හැක්කේ තාර්කික තලයේදී ය. නමුත් අධිපතිවාදයේ සාරය තර්ක බුද්ධිය නොවේ. එක් කල්පිතයක් තවත් කල්පිතයකට සම්බන්ධ කරන තාර්කික අසව් ඊට අවශ්‍ය නොවන්නේ එබැවිනි. කොටි සංවිධානයේ සටන්කරුවන් මිහිදන් කළ කිලිනොච්චියේ සෙල්වනගර් මහවිරු සුසාන භූමියට ඉකුත් වසරේ නොවැම්බර් 27 වැනිදා රොක් වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා විසින් හෙළිකළ යථාර්ථය දකුණේ අධිපතිවාදී විශ්වාසයන් චිරස්ථායී කොට පවත්වාගෙන යාමට බාධා නොකරන්නේ ඒ අනුව ය. දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන පරිකල්පිත ඉරණම් චක්‍රය දේශපාලන යථාර්තයක් සේ දකුණේ බහුතරයක් දෙනාට ආයාසයකින් තොරව ඒත්තු ගැන්විය හැක්කේ ද ඒ නිසා ය. 
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ හෝ බක්මහ සමරු විසින් එල්ල නොකරන සාමූහික සදාචාර අභියෝගයක් දෙමළ ජනයාගේ මුල්ලිවයික්කාල් සමරුව විසින් දකුණේ පොදු මහත් සිංහල ජන මනසට එල්ල කරනු ලබයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දකුණේ ‘තරුණ ජන සංහාරයක්’ කළ බැව් කී විට ‘යූඇන්පී ආණ්ඩුව ඔක්කොම තරුණයන් මැරුවාදැයි’ අසන්නට කලබල නොවන්නන්, උතුරේ ‘දෙමළ ජන සංහාරය’ සමරන බැව් කී විට ‘උතුරේදී මැරුවේ ඔක්කොම කොටිනේ’ කියන්නට උත්සුක වන්නේ එබැවිනි. ඝාතකයා සහ වින්දිතයා වාර්ගික රේඛාවකින් වෙන්කර පෙන්විය හැකි මුල්ලිවයික්කාල් සමරුව විසින් කිරිබත් කමින් සැමරූ රාජ්‍ය අපරාධයන් සමග දකුණේ බහුතරයකට ඇති නින්දිත හවුල්කාරීත්වය පිළිබඳ අපකීර්තිමත් රහස යළි යළිත් අනාවරණය  කරයි. එය ‘ත්‍රස්තයන් පුනර්ජීවනය කිරීමේ’ සැළැස්මක් සේ සළකා මැඩලිය යුතු බැව් කියන්නේ ඒ නිසා ය.
‘සුබ සහ යස’ නව නිෂ්පාදනයක් වැනි වූ රාජිත සේනාරත්නගේ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරවාරයේ, හිටිහැටියේ රජුන්ට හැඳගත් මාධ්‍ය දොරටුපාලයන්ගේ ‘දේශප්‍රේමී යශෝ කීර්තිය’ තවත් සුමානයක් අල්ලා හිටින්නට ඉඩ ඇති බව ඇත්තකි. නමුත් භීතියෙන් ඇළලී මුල්ලිවයික්කාල් වැල්ලේ හාමතින් බිම්බත් වූ දහස් සංඛ්‍යාත ජනයා පිළිබඳ ලේමුඬු ඉතිහාස ඇත්ත ඒ ‘කීර්ති කදම්බයෙන්’ මැකී නොයනු ඇත.☐
(මෙම ලිපිය 2018 මැයි 27 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)
රෝහිත භාෂණ අබේවර්ධන

© JDS
Powered by Blogger.