ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී මරණ තර්ජනය කිරීම, වැලිකඩ බන්ධනාගාරයේ සමුහ ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධව තමන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කරන බවත් ඒ පිළිබඳ නෛතික සහ විමර්ශන කරන සියළු දෙනා "රාජද්‍රෝහීන්" බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ  සඳහන් කර ඇත.
දිවයින පුවත්පත වෙත සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර  බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්‌ බවත්  කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙන බවත් ඔහු සඳහන් කර ඇත.
"මේ බුද්ධි අංශ පිළිබඳ විමර්ශන අතරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අනුව ඔබතුමාටත් චෝදනා එල්ල වෙලා නේද?" යනුවෙන් දිවයින ප්‍රශ්නය යොමුකර ඇති අතර ඊට ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන්ව ඇත.

එහිදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ "දැන් මගේ කෝල් එකක්‌ පිටිපස්‌සේ එනවා. මේක පුදුම පරීක්‍ෂණ පැවත්විල්ලක්‌නේ. පොලිසිය පුහුණු කළේ කවුද දන්නේ නැහැ. මට කනගාටුයි මේ මිනිස්‌සු මගේ යටතෙත් හිටියා. බොරු මවාපෑම් කරලා. බොරු කතා ගොතලා. ඒවා උසාවියට ගෙනියනවා. මේ ගොල්ලෝ රාජද්‍රෝහීන්. සමහර රජයේ නීතිඥයෝ මේවායෙදී කටයුතු කරන්නේ හරිම කැත විදිහට. ඒ තරම් පහත් තත්ත්වයකට ඔවුන් වැටිලා. කොහොමද ජනතාව විශ්වාසයක්‌ තබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන. කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙයි. මේ වගේ බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්‌. දැන් කීත් නොයාර් සිද්ධියේදී මට චෝදනා කරන්නේ දුරකථන ඇමැතුමක්‌ මුල් කරගෙන. මට ඒ සිද්ධිය දැනුම් දුන්නහම මම ඒකට ක්‍රියාත්මක නොවී වෙන මොනවද කරන්නේ. මම ගිහින් පරීක්‍ෂණ කරන්නද? අද කතානායකතුමා කියනවනේ කීත් නොයාර්ව බේරාගත්තේ එතුමා කියලා." යනුවෙන් පවසා ඇත.

කෙසේ නමුත් අදාල භයානක සිදුවීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යම් සම්බන්දයක් ඇති බවට වන පරික්ෂණයන් තවමත් ක්‍රියාත්මක වපසරියක් තුල ඔහුගේ මේ වැයම පරීක්ෂණ යටපත්වීම බවටද මතයක් ඉදිරිපත්ව ඇත. එමෙන්ම පසුගියදා අදහස් දැක්වූ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිහිටෙන් නීතියෙන් කට්ටි පනින බවට සදහන් කරනා ලදී.