දකුණේ උණ වසංගතය මඩින්න රජයට විධිමත් වැඩපිළිවෙළක් නැහැ

දකුණේ පැතිර යන උණ වසංගතය පාලනය කිරීම සඳහා රජයට හා සෞඛ්‍ය අංශවලට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීමෙන් එම ප්‍රදේශවල පාසල්වල ප්‍රාථමික අංශ වසා දමා දරුවන්ගේ අධ්‍යාපන කාලයද අහිමිකොට ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා නඟයි.
මේ සඳහා කිසිදු සාධනීය වැඩපිළිවෙළක් නොමැතිව වසංගත තත්ත්වය තීව්‍ර වීමේදී රජය සිදු කළේ පාසල්වල ප්‍රාථමික අංශ වසා දැමීම බවත් මීට පෙර මෙවැනිම වසංගත තත්ත්වයක් පැතිර ගියද එසේ පාසල් වැසීමට තරම් තත්ත්වයක් එදා උද්ගත නොවූ බවද ඔවුන් පෙන්වා දෙයි.
මින් පෙනී යන්නේ මෙවර නිසි වැඩපිළිවෙළක් නොවූ බවත් සිදු වන්නේ රජය ක්‍රමානුකූලව සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරනවා මිස ජනතාවගේ සෞඛ්‍ය නඟාසිටුවීමට හෝ උත්සාහ නොදරන බව යැයිද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
දරුවන් 11 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී දරුවන් භාරගත නොහැකි තරමට කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකය පිරී පැවැතීම තුළ පෙනීයන්නේ වසංගත තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු නොකරන බව හා නිසි විධිමත් වැඩපිළිවෙළක් ඔවුන් සතුව නැති බව යැයිද එම සංගමය පැවැසීය.
එසේම පාසල් දරුවන් දඩමීමා කර ගනිමින් ව්‍යාජ සෞඛ්‍ය රක්‍ෂණයක් හඳුන්වා දී
රක්‍ෂණ සමාගම් වෙත මිලියන ගණන් රජයේ මුදල් පොම්ප කරන බවත් පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කරමින් සිටින රජය එම මුදල් වැය කර රජයේ ළමා රෝහල් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නම් එම රෝහල් මඟින්ද ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථා පුළුල් වන බවද ඔවුහු ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය තුළ ව්‍යාජ ප්‍රචාරක වැඩපිළිවෙළ සඳහා ජනතා මුදල් වැය නොකර රටේ මහජන සෞඛ්‍ය නඟාසිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යොදන ලෙසද ලංකා ගුරු සංගමය රජයට බලකර සිටියි.
Share on Google Plus