බැඳුම්කර බෑනාගෙන් මිලියනයක් ගත්තා - දයාසිරි පිළිගනියි

තමන් සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේදී හෙළි වූ කරුණු පදනම් කරගෙන ඊයේ සහ අද (25) දින මාධ්‍යවල පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරන්නේ තමන් එම මුදල් ලබා ගනු ලැබූවේ 2015 වසරේ ජුනි 13වනදා බව ය.
ඒ වනවිට 2015 පාර්ලිමේන්තු මැතිවරණයද ආරම්භ වී තිබූ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙම මුදල් ලබා ගත් බවත් මෙලෙස් තවත් බොහෝ මන්ත්‍රීවරුන්ට විවිධ ව්‍යාපාරිකයන් විසින් මුදල් ලබා දෙන බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වන්නේ දින සීයේ ආණ්ඩුව පැවති 2015 වසරේ පෙබරවාරි 27 වන අතර දයාසිරි ජයසේකරට උක්ත මිලියනය ලැබී ඇත්තේ ජුනි 13වනදාය.
වත්මන් යහපාලන ආණ්ඩුව බිහිවන්නේ 2015 අගෝස්තු 17වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වන අතර දයාසිරි ජයසේකරට අදාළ මිලියනය ලැබෙන දිනය වන විටත් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වී තිබෙන අතර දයාසිරි ජයසේකර ද එම මැතිවරණයේදී එක්ජසත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකි.
බැඳුම්කර වංචාවට අදාළ කෝප් පරීක්ෂණ සිදු කළ සමයේ අර්ජුන් ඇලෝසියස් විසින් දයාසිරි ජයේසේකර මහතාටද දුරකථන ඇමතුම් ලබාදී ඇති බව බැඳුම්කර වංචාව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදීද අනාවරණය වී තිබිණි.
කෙසේ නමුත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සිය පැහැදිලි කිරීම සිදු කරමින් වැඩිදුරටත් පවසා සිටියේ තමන් අර්ජුන් ඇලෝසිස්ගෙන් මුදල් ලබාගත්තද ඔවුන්ගේ වංචා දූෂණ ක්‍රියාවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවයි.
Powered by Blogger.