එජාපය ඉන්නෙ ලොකු අවුලක - ඇමති අශෝක් අබේසිංහ

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැටලුව අදටත් හරි හැටි විසඳි නැත. වරින් වර එය මතුවන්නේ අළු යට ලූ ගිනි පුපුරු මෙනි. පක්ෂය තුළ පවත්නා නොයෙක් අර්බුදකාරී තත්ත්වයන් සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්මට පවා එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ පක්ෂ අභ්‍යන්තරයේ පැවති මත ගැටුම් කරළියට පැමිණි අතර එජාප දේශපාලන අනාගතය ගැන නොයෙක් අනාවැකි පළ විය. කෙසේවෙතත් අවසානයේදී විශ්වාසභංගය පරාජය කිරීමට එජාපය පෙළ ගැසුනද ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරය තවමත් සිසිල් වී නැත. පක්ෂයේ නොවිසඳෙන අර්බුද පිළිබඳ සෘජුවම අදහස් දැක්වූවෙකි නියෝජය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා. ඉතින් අපිත් ඔහු සමඟ සම්මුඛ විය.

 
එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැන් අළු යට ගිනි කියලා කිව්වොත් නිවැරදියි.  ඔබත් එකඟ වෙයි. මොකද පක්ෂයට වුණේ?
දේශපාලනය කියන්නේ මොකක්ද කියන තැන ඉදන්ම කතා කළොත් දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ එම බලය රැක ගැනීම. සෑම දේශපාලන පක්ෂයක්ම කරන්නේ බලය ලබා ගැනීමට උත්සහ දැරීම සහ එම ලබා ගත් බලය  ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. එක්සත් ජාතික පක්ෂය ගත්තොත්  ඉතිහාසයේ රටට නිදහස ලබා ගැනීමට උර දුන් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂයෙන් මේ රටට ප්‍රතිලාභ රැසක් අත්පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂය කියන්නෙත් මේ රට වැඩි කාලයක් පාලනය කරපු පක්ෂයක්. එවැනි තත්ත්වයක් තිබුණු පක්ෂයක  වර්තමාන  පැවැත්ම සම්බන්ධයෙන් මට තියෙන්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්.  94න්  පස්සේ ගත්තොත් අපිට මේ රට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වසර 5කටත් අඩු කාලයක්. මෙවැනි දැවැන්ත පක්ෂයකට ඇයි එවැනි තත්ත්වයක් උදා වුණේ. එකට හේතුත් අපි දන්නවා. නමුත් ඒ  හේතු සඟවලා  වෙන වෙන දේවල් කතා කර කර ඉන්නවා.  
ashok abeysinghe 1ජනාධිපතිවරණයකුත් ජයග්‍රහණය කරවන්න හැකි වුණ පක්ෂයට මොකක්ද වුණ කඩා වැටීම ?
දේශපාලනයේදී වැදගත්  වෙන්නේ බලයනේ. අපි බලය ලබා ගන්න නම් අපේ පාක්ෂිකය ඉල්ලන දේ ගැන සලකා බලන්න අවශ්‍යයි.  ඔවුන් ගැන සංවේදී වෙන්න ඕනේ. එහෙම නැතුව පක්ෂයකට ඔලුව උස්සන්න බැහැ. අන්න එතනයි අපි වරද්ද ගත්තේ. 
මගේ කුරුණෑගල ආසනය ගත්තොත් 2015 ජනාධිපතිවරණයේදී ජන්ද 6000කින්  දිනුවා. කුරුණෑගලින් මගේ ආසනයයි, මාවතගමයි විතරයි දිනුවේ. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත චරිතය පසුගිය මහ මැතිවරණයටත් ඉල්ලුවා. ඒ වෙලාවෙත් මම 5000කින්  දිනුවා. 2015 ඉදලා මේ දක්වා කුරුණෑගල  දිස්ත්‍රික්කයේ රු.කෝටි 500ක සංවර්ධන ව්‍යාපෘති කෙරෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආසනය ගත්තත් ජන්ද 8000කින් පරාදයි. 
මේ ජන්දෙන් පස්සේ අපේ පාක්ෂිකයෝ කියන දෙයක් තමයි තවදුරටත් මෙහෙම ඉස්සරහට යන්න බැහැ කියන කාරණය. අපි මේක පක්ෂේ නායකයන්ට කිව්වා. පක්ෂේ ප්‍රධානින් ඒ ගැන උනනුවක් දැක්වූයේ නැහැ. මට මතකයි 2010 මම මුලින්ම පාර්ලිමේන්තු ආපු වෙලාවේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ පාර්ලිමේන්තු කණ්ඩායම්  රැස්වීමේදී කිව්වා නායකතවයේ වෙනසක් වෙන්න ඕනේ කියල. එතකොට මම පක්ෂයටත්  අළුත්. මම කොහොමහරි ඒ සාකච්ජාව ඉදිරියට අරන් ගියා. ඒ නිසාදෝ මන්දා මට සාමජිකත්වයත් අහෝසි වෙලා සංවිධයකකමත්  අහෝසි වුණා. එතැනදී මම තීරණය කළා මෙහෙම වුනොත් අපේ දේශපාලනයයි අනාගතයි දෙකම ඉවරයි. වෙන වෙන  ඒවා හොයාගෙන යන්නයි වෙන්නේ. ඒ නිසා නිශ්ශබ්දව ඉන්නවා කියලා තීරණය කළා.  
ashok abeysinghe 2සාකච්ජාවෙන්, සම්මුතියෙන් එකඟතාවන්ට එන්න බැරි තත්ත්වයක්ද පක්ෂේ තියෙන්නේ?
කොහොමත් පක්ෂේ  සිදුවන සාකච්ජා  වලින්  මට පෙනෙන්න තියෙන දෙයක් තමයි බහුතරයක් නායකත්වයට බයේ කතා කරන්නේ නැහැ. සුළු පිරිසක් කතා කරනවා. වරකින් දෙවරකින් ඒ කතාවත් ඉවර වෙනවා. සමහර මන්ත්‍රීවරු මගෙන්  අහනවා 2010 කතා කළා  ඇයි  දැන්  කතා කරන්නේ නැත්තේ කියලා. මට ඇමතිවරයෙක් කිව්වා ඔයා කතා කරන්න එපා කියලා.  එයා  රැස්වීම් පුරා මට කතා  කරන්න එපා කියලා අඟවනවා. කොහොම  නමුත් නායකත්වය ඉදිරියේ දේවල් කතා කිරීමේ නොහැකියාවක් තියෙනවා. එය නායකත්වය උදහසට ලක්වෙයි කියලා කරන දෙයක්ද දන්නේ  නැහැ. 
නමුත් එජාප මැති අමතිවරුමනේ කියන්නේ අපේ  පක්ෂය තරම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තවත් නැහැ කියලා?
පෙනෙන්න තියෙන දේවල් සහ වෙන දේවල අතරේ වෙනස්කම් ඕනෑතරම් අපිට දැක ගන්න පුළුවන්නේ. මට මන්ත්‍රීවරයෙක් කිව්වා මෙහෙම ඉදලා හරියන්නේ නැහැ වෙනම බලවේගයක් හරි හදන්න  වෙනවා කියලා. කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක් කිව්වා මෙහෙම ගියොත් දේශපාලන තීන්දුවක් ගන්න වෙන බව.  නමුත් මේ විරෝධයන් එක තැනකට එන්නේ නැහැ. ඒ මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දැන්  තියෙන දේවල්  නැතිවෙයි කියන එක.
අගමැතිවරයා කිව්වනේ  කොහොමත් විශ්වාසභංගයෙන් පස්සේ තනතුරු වෙනස් වෙනවා කියලා. ඔබ කියන දේවල් එක්ක හිතෙන්නේ අගමැතිවරයාත් පක්ෂයට බොරු කියන්නේ කියලා?
මෙහෙමනේ  විශ්වාසභංගයට කලින් අගමැතිවරයා කිව්වා තමයි තනතුරු වෙනස් වෙනවා කියලා. මන්ත්‍රීවරුත්  හිතාගෙන හිටියේ  ඒක එහෙම වෙයි කියලා. නමුත්  මම දැනගෙන හිටියා  ඒක එහෙම වෙන්නේ  නැහැ කියලා. අන්තිමට මණ්ඩලයක් හැදුවා, එකෙන් තීරණය කරනවා පක්ෂයේ  තනතුරු පිලිබඳ තීරණ ගන්නේ නායකත්වය කියලා. දැන් බලන්න අපේ පක්ෂයේ වෙනස් වෙන්නේ ලේකම්ලා, සභාපතිලා. කවුද කිව්වේ ලේකම්ලා,සභාපතිලා, භාණ්ඩාගාරිකල  වෙනස් කරන්න කියලා. ඒවානේ වෙනස් වුණේ. අපි කිව්වද සිරිකොත තුනකට කඩලා ලේකම්වරු තුනක් දාන්න කියල. කියපු නැති ඉල්ලපු නැති දේවල් තමයි වෙන්නේ. දේශපාලන මණ්ඩලය හදපු එක වුනත් තනි බොරුවක් වුණේ .වැඩක් තියෙනවද එහෙම. 
දැන් සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන්නේ  බ්‍රිතන්‍ය සම්ප්‍රදායනේ. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළ වරක් දෙවරක් පැරදුනාම දේශපාලනයෙන් ඉවත් වෙලා වෙන කෙනෙකුට දෙනවා. මැතිවරණය පැරදුනොත් පක්ෂ නායකකමත් වෙන කෙනෙකුට දෙනවා. දැන් බලන්න බලයේ ඉන්න අපිට මැයි දිනය පවත්වාගන්න බැරි වෙලා තියෙනවනේ.පෙළපාලියක් පවත්වාගන්න බැරි වෙලා. හැබැයි රට පාලනය  කරන පක්ෂයක්. 
ashok abeysinghe 3ඒ කියන්නේ බිම් මට්ටම ගැන අවබෝධයක් නැහැ කියලද කියන්නේ?
දැනෙනවා. දැනෙන්නේ නෑ  වගේ ඉන්නවා. මට හිතෙන විදිහට දැනට තියෙන බලය ප්‍රමාණවත් කියල හිතනවා. ඉදිරියක් ගැන හිතන්නේ නැහැ. තියෙන තත්ත්වයෙන්ම යන්න හිතනවා. මම දන්නවා මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. නමුත් මම මගේ පක්ෂයට ආදරය නිසා මම ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ. 
ඔබ කියන විදිහට නායකත්වයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා?
දිගින් දිගටම මැතිවරණ ප්‍රතිපල මෙහෙම වෙද්දී පක්ෂයේ නායකත්වය එහි වගකීම ගන්න ඕනනේ. මෙතන එහෙම වෙන්නේ නැහැනේ. බලන්නකෝ 94 ඉදන් අපි මැතිවරණ කීයකට මුහුණ දුන්නද .ප්‍රධාන පක්ෂයක් වෙලත්  අපිට  ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. අපේ වත්මන්  අගමැතිවරයා  දෙපාරයි ජන බලයෙන් ආවේ ඒ දෙපාරම අවුරුදු දෙකකට වඩා රට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. 2002 අවුරුදු දෙකයි. මේපාරත් දෙකෙන්ම ඉවර වුණා  වගේනේ. රට ඔහේ යනවා. යම් කිසි ක්‍රමවේදයක් තියෙන  නිසා යනවා . ඩොලරය අඩු වෙලා.  ආර්ථිකය බැහැගෙන යන්නේ. ග්‍රාමීය සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනය වුණ   තැන්වලට සල්ලි ගිහින් නැහැ. ජනතාව දැනුවත් කිරීම බින්දුවයි. ඒකාබද්ධ විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රකාශ  ගැන හරිහැටි කියන්නේ නැහැ. තමන්ගේ බලය රැකගන්න ඔහේ යනවා. කිසිම දෙයක් ගැන නිසි මැදිහත්වීමක්, ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවක් නැහැ. 
මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාව පනස්දෙලක්ෂයක් ඉන්නවා. මේ පනස්දෙලක්ෂයෙන් තිස්පන්ලක්ෂයක්  වගේ තමයි ජන්ද දායකයෝ ඉන්නේ. මේ තිස්පන්ලක්ෂයෙනුත් ජන්ද  ප්‍රකාශ වෙන්නේ ජන්ද විසිලක්ෂයක් විසිපන්ලක්ෂයක් වගේ  ප්‍රමාණයක්. ගියවර විසිඅට  ලක්ෂයක් ජන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඕකෙන් අට ලක්ෂයයි මහින්ද රාජපක්ෂට ගියේ විසිලක්ෂයක්  අපිට  ආවා. එහෙම  වෙලත් අපි ජන්දේ දිනුවේ හාරලක්ෂයක  වගේ ප්‍රමාණයකින්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ දූෂිත චරිතයක් කියල කිව්වත්  සිංහල බහුතරය අපට ජන්දේ දීලා නැහැ. දැන් තියෙන තත්ත්වය අනුව සිංහල බහුතරය අපි ළඟ ඇත්තෙම නැහැ. දිගනේ සිද්ධි වලින් මුස්ලිම් අයත් අපෙන් ගියා. ඊළඟ මැතිවරණයකදී අපි ජයග්‍රහණය  කරන එක හීනයක්. 
මේ තරම් චෝදනාවක් පක්ෂ නායකත්වයට තියෙනවනම්  විශ්වාසභංග යෝජනාවේදී තීරණාත්මක තීන්දුවකට යන්න තිබුණනේ ?
ඒක අපි පක්ෂය විසින් ගත්  තීරණයක්. අපි ඒ වෙලාවේ ඉතා දීර්ඝ ලෙස සාකච්ජා කළා. මම අගමැතිතුමා එක්ක තනිව කතා කළා. අපිට අවශ්‍යතාව තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දිගටම අරගෙන  යන්න. ජනාධිපතිතුමා  එක්ක තුන් පාරක් කතා කළා. මගේ තීන්දුව තිබුණේ ජනාධිපතිතුමා ගන්න තීන්දුව අනුව රනිල්  වික්‍රමසිංහ මහත්මයාගේ  අනාගතය තීරණය වෙනවා කියල. ඒත්  අපි තීන්දු කළා මේ තත්ත්වය වෙනස් කරන්න. 
ashok abeysinghe 4මම අගමැතිතුමා හමුවෙලාම කිව්වා එක්සත් ජාතික පාක්ෂිකයා පව් කියලා. ගමේ ඉන්න මනුස්සය දන්නේ නැහැ මෙහ මොනවද වෙන්නේ කියලා. පක්ෂයේ නායකයෝ මොනවද  කරන්නේ කියල ගමේ පාක්ෂිකයා  කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තම කියනවානම මේ රට හදන්න පුළුවන් මෙරටට ආදරය කරනවානම්. වැඩපිළිවෙලක් තියෙනවනම් විතරයි. 
මේ තත්ත්වය තව කොතෙක් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද ?
මට මේ ප්‍රශ්නේ 2010ම තේරුණා. පුංචි කාලේ අපි ශ්‍රී ලංකා මාතා කියන්නේ නැතිව UNP  මාතා කියන්නේ. අපි හිතන්නේ ශ්‍රී ලංකා මාතා කියන්නේ නිදහස් පක්ෂෙට  සම්බන්ධ දෙයක්  කියලා. ඒ තරමටම  UNP කාරයෝ. හැබැයි නගර සභාවට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජන්දේ ඉල්ලුවා.  ඒ වෙන හේතුවක් මත. 2010 ජනවාරි මට UNP  සංවිධායකකම ලැබුණේ. අප්‍රේල් වෙද්දී  පාර්ලිමේන්තු මන්ත්‍රී  වුණා. ඒ, අපි මිනිස්සු එක්ක ඉන්න  නිසා. අපි දේශපාලනයෙන් හම්බ කරන අය නෙවෙයි. මම කියන්නේ අත්  දෙක වන වන ආවනම් යන්නත් ඕනේ ඒ විදිහට. මම  කියන්නේ අපි අවංක වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන තවදුරටත් යන්න බැහැ.
අනෙක් කරණය තමයි දූෂිත දේශපාලකයින්ට දඬුවම් නොකිරීම. ඒක  කරනකම්  එජාපය දිනන්නෙත් නැහැ. 
ඇයි දූෂිතයින්ට දඬුවම් නොකළේ ඇයි හොරු ඇල්ලුවේ නැත්තේ?
වුවමනාවක් නැහැ. හිතනවා අපි මොනවා කළත් මිනිස්සු  ජන්ද දෙනවා කියල. මහින්ද රාජපක්ෂ  යුද්දේ අවසන් කළාට  පස්සේ වෙනම ගමනක්නේ ගියේ. ඔහු හිතුවේ නැහැනේ කවදාවත් පරදියි කියල. නාමල්, ගෝඨාභය,  බැසිල්  වෙන ගමනක් ගියානේ. ඒ අය ගැන අපි ඔයාල දන්නා සත්‍ය රටේ මිනිස්සු හරියට දන්නේ නැහැනේ. ප්‍රතිරූපය වෙනස්. ඒ වෙලාවේ ඔවුන්ගේ  වැඩ පිළිවෙල තරුණ පරපුර හා මධ්‍යස්ථ  අය පිළිකුල් කළා. එතැනදී ඔවුන් ගැන  අපි දීපු පණිවිඩය ව්‍යාප්ත වුණා .දැන්  ඒක අනිත් පැත්ත වෙලා. ඒකනේ  හොරුම ඇවිල්ල කියන්නේ අපිට හොරු කිව්වා, කෝ දඬුවම් කියල.  
ඔබේ පක්ෂේ නායකයා, රටේ අගමැතිවරයා 2015 දේශපාලන ජයග්‍රහණයෙන් පස්සේ ඔහු  වටා ගොණු කරගත්  පිරිස සම්බන්ධයෙනුත් පසුගිය කාලයේ චෝදනා නැගුණා. පක්ෂේ ප්‍රබලයන් පවා එය සෘජුව නොකියා කියූ අවස්ථා තිබෙනවා.  මේ ගැන ඔබේ ස්ථාවරය පැහැදිලි කළොත්?
එහෙම තත්ත්වයක්ම නෙවෙයි. කතාවක් තියෙනවනේ බලය තියෙද්දී මොළය නැහැ මොළය තියෙද්දී බලය නැහැ කියලා. කොහොම වුණත් නායකයෙක් පත් වුනාම ඒ වටා කොටසක් එනවනේ. ඒක වළක්වන්න බැහැනේ. අපේ නායකතුමාගේ ප්‍රශ්නය වෙන එකක්.   කවුරු හිටියත් මෙහෙම  අර්බුද හැදෙන්න  බැහැනේ. වැඩපිළිවෙලවල් ප්‍රයෝගික වෙන්න ඕනේ. මනඃකල්පිත  දේවල් කියලා හරියන්නේ නැහැ. රැකියා දසලක්ෂයක් දෙනවා කීවට බැහැ , එහෙම රැකියා එන කර්මාන්තශාලානේ හදන්න ඕනේ. කර්මාන්තශාලා හදන්න  තිබුණ  වැඩපිළිවෙල මොකක්ද? කර්මාන්තශාලාව හදන්න ඉස්සෙල්ල පොල් අක්කර පන්සියේ පොල් ටික ගලවලා ආයෝජකයා එනකම් බලාගෙන ඉන්නවා.  දැන් වෙන්නේ එහෙමනේ. ගිය ආණ්ඩුව තියෙන කාලේ කුරුණෑගල පැත්තේ පොල් ඉඩමක පොල් ගැලෙව්වා. තාම ඉඩම එහෙමමයි. සැලැස්මක් ඇතිව සංවර්ධනය වෙන්න ඕනේ. ආයෝජකයෙක් එන්න මේ රටේ දේශපාලන වාතාවරණයත් හොඳ වෙන්න ඕනනේ. 
ashok abeysinghe 5සම්මුතිවාදී ආණ්ඩුව කියන්නේ වළක්වා ගැනීමට තිබූ වරදක්ද?
මට පේන  විදිහට මේ සංකල්පය හොඳයි. ඒ කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා යන එක. නමුත්  අපේ රට වගේ එකකට හරියන්නේ නැහැ. මොකද අදහස් වෙනස්. දේශපාලන සංස්කෘතිය වෙනස්. අපි ජනතාවට  සන්නිවේදනය කිරීම හොඳටම මදි. දැන් බලන්න අධ්‍යාපන ඇමතිතුමා සිසු රක්ෂණය ගේනවා. අපි එක මාර්කට් කළාද? හරියට කළේ  නැහැනේ. තාම මිනිසු දන්නේ නැහැ එහෙම එකක තියෙනවද කියල. මම ඇමතිතුමාට කිව්වා අර සුරක්ෂා කියන කාර්ඩ් එක හැම ගෙදරකටම ලැබෙන්න සලස්වන්න කියලා. සෑම  දරුවෙකුටම එක ලැබුනම දන්නවා මට රක්ෂණයක් තියෙනවා කියලා. තාම ඒ කාර්ඩ් එක නැහැ. එතකොට අපි මොනතරම් කීවත් එක වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව  විශාල වැඩකොටසක් කරලා තියෙනවා. නැමුත් ඒවා මාර්කට් වෙලා නැහැ. බෙහෙත් මිල අඩු කළා. රු 10000න් පඩි වැඩි කළා . කොයි ආණ්ඩුවද  එහෙම කළේ.  අපේම දුර්වලතා නිසා තමයි තියෙන බලයත් නැතිකර ගන්නේ.  මේ වෙද්දී තරුණ පරපුර කලකිරීමෙන් ඉන්නේ. මධ්‍යස්ථ  අයගේ ජන්ද ලැබෙයි කියලා හිතන්නත් බැහැ.  පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. ඒ  අය ජන්දේ දාන්නෙත් නැති වෙයි. 
කොහොමත් ජාතික ආණ්ඩුව 2020 වෙනකම් යයි. මගේ  මතය ජාතික ආණ්ඩුව ඉදිරියට යන්න ඕනේ. අගමැතිතුමා එක්ක මම කිව්වේ ශ්‍රීලංකා එක එක්ක මේ ගමන ගියේ නැත්නම් අපට අනාගතයක් නැහැ. හේතුව මේ රටේ ව්‍යවස්ථාව අනුව තියෙන විධායක ජනාධිපතිධූරය  තරහ කර ගෙන ආණ්ඩුව ගෙනියන්න බැහැ. අපි තනි ආණ්ඩුවක් හැදුවොත් අයවැය පරදිනවාමයි. 
16 කණ්ඩායම නවත්වන්න බැරි වුනාද ?
එතන හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මගෙන් ඔය ගැන ඇහුවා. මම කිව්වේ  ඉන්නවනම්  41ම ඉන්න නැත්නම්  41ම යන්න. එහෙම නැතුව ඔයාල 16 විතරක් යන්න එපාකියලා. පස්සේ ජනාධිපතිතුමා ආරාධනා කළානේ  ඕනෑම කෙනෙක්ට ඊළඟ ආණ්ඩුවට එන්න කියලා. නිකම් නෙවෙයිනේ කිව්වේ. ඒ කිව්වේ මේ අයට නැවත එන්න කියලනේ. කොහොමත්  මේ ආණ්ඩුව මෙහෙම යයි. 20 අර්බුදයක් එයි.

ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන 

[නිවුස් වෙබ්]
Share on Google Plus