අක්කර 100ක කංසා වගා කිරීමට රජය සුදානම් වෙයි




බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදු කරන ලද කංසා තහනම ඉවත් කර අක්කර 100 ක කංසා වගා කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. දේශීය වෛද්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කිරීමට අමතරව විදෙස් රටවලට කංසා අපනයන කිරීමට ද බලාපොරොත්තු වන බවත් ඒ හරහා බිලියන ගණනක ආදායමක් අත්පත් කර ගැනීමට අවස්තාව තිබෙන බව ද ඇමතිවරයා පවසයි.

කැනඩාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් පවා කංසා තහනම ඉවත් කර ඇති බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ කංසා ස්නායු රෝගවලට මෙන්ම හදවත් රෝගවලට ද ඖෂධ ලෙස භාවිතා කළ හැකි බවයි. ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම පත්‍රිකාවට අනුමැතිය ලැබුණු පසු ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම වගාව ආරම්භ කරන බව ද ඔහු පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම ගැටලුවක් වුවත් එය හේතුවක් කර ගනිමින් කංසා තහනම් කිරීම හරහා එය ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ද සේනාරත්න මහතා පවසයි. අබිං සඳහා පනවා තිබෙන තහනම හේතුවෙන් අවසානයේ ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව තිබෙන බව ද ඇමතිවරයා සිහිපත් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පසුගිය වසර 03 තුල විශාල සංවර්ධනයක් ලැබුවා. නොයෙකුත් ව්‍යාපෘති දියත් කළා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන තිබෙනවා. නවීන වෙළෙදපොලට සරිලන පරිදි නව නිෂ්පාදන ආරම්භ කරනවා. මේ වනවිට නව නිෂ්පාදන රැසක් වෙළෙදපොලට නිකුත් කර අවසන්. එමගින් වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවා. සංස්ථාවේ කර්මාන්ත ශාලාව නවීකරණය කිරිමට පියවර ගත්තා. නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී විවිධ බාධා ඇති වුනා. ඇතැම් අය කිවුවා මෙම නිෂ්පාදන වෙළෙදෙපොලේ විකුණන්න බැහැ කියලා. නමුත් ආයුර්වේද ඖෂධ වෙළදසැල් නවීකරණය කරමින් ආයුර්වේද ඖෂධ ආකර්ශණයෙන් යුතුව අලෙවි කිරීමේ වැඩපිළීවෙළක් අපි දියත් කළා.'


'දේශීය වෛද්‍ය ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කළ යුතුයි. ආයුර්වේද ඖෂධ සංස්ථාව තුල 2016 වසරේ දී විරෝධතාවයක් ඇති වුනා. ඊට අපි යටත් නොවී මුහුණ දුන්නා. 2014 වසරේ සංස්ථාවේ නිෂ්පාදන වටිනාකම රුපියල් මිලියන 270 යි. එය 2017 වසර වන විට රුපියල් මිලියන 342 දක්වා ඉහළ නංවා තිබෙනවා. වාර්ෂික අලෙවිය 2017 වසරේ රාජ්‍ය අංශය තුල රුපියල් මිලියන 466 ක් ද විවෘත වෙළෙදපොල තුල රුපියල් මිලියන 126 ක් ද දක්වා වර්ධනය කර තිබෙනවා. 

ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ අභීයෝගයට මුහුණ දෙමින් වියළි ඖෂධ එකතු කිරීමේ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ගොවියාට විශාල සහනයක් ලැබෙනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරිමට ද පියවර ගෙන තිබෙනවා. විවෘත වෙළෙදපොළෙන් පොල්තෙල් මිලදී ගැනීම නිසා වසරකට රුපියල් මිලියන 20 ක පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. පොල්තෙල් පිළිබද විවිධ දුර්මත තිබුනා. පොත්තෙල් භාවිතය තුලින් කොලෙස්ටරොල් ඇතිවෙනවා කිවුවා. නමුත් දැන් සොයාගෙන තිබෙනවා පොල්තෙල්වල මේදය අඩුයි කියලා. කොලෙස්ටරොල් ඇති වෙන්නේ නැහැ කියලා. පිරිසිදු පොල්තෙල් හොදයි. විවිධ සංඝටක තිබෙන ඒවා හොද නැහැ. ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය කාලයේ නව නිෂ්පාදන 13 ක් වෙළෙදපොලට හදුන්වා දුන්නා. පුනරුදය වැඩසටහන යටතේ නව නිෂ්පාදන 06 ක් වෙළෙදෙපොලට නිකුත් කරනවා. පාසල් හමුදා කදවුරු ආශ්‍රිතව ඖෂධ පැල ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙළත් දියත් කරනවා. ඒ සදහා යුධ හමුදාපතිවරයා සහයෝගය ලබාදුන්නා.
(LNW)





Share on Google Plus