මාගම්පුර පාවාදීම ගැන තවත් හෙළිදරව්වක්




නව ආණ්ඩුව බලයට පත්වී චීන ව්‍යාපෘති නතර කළ අවස්ථාවේදී චීන විදේශ ඇමැති කොළඹට පැමිණ ආණ්ඩුවේ බලධාරීන්ට තර්ජනය කළ බව ස්වීඩන රූපවාහිනියේ වාර්තා වැඩ සටහනකින් හෙළිදරව්වේ.
චීනය ණය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර ඇති ආකාරය විග්‍රහකරමින් ස්වීඩන ටෙලිවිෂනයේ ස්වීඩන බසින් ජුනි 27 දා විකාශය වූ ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තා වැඩ සටහනේ සාරාංශය මෙසේය.
ශ්‍රී ලංකාවේ රුධිර යුද්ධය අවසන් වී දස වසරක් සම්පූර්ණ වීමට ආසන්නය. ස්වීඩන ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශය ලංකාවේ දකුණුකරයේ පිහිටා ඇති හම්බන්තොට කුඩා නගරයට ගියේ චීනය ශ්‍රී ලංකාවට පොම්ප කරන මිලියන ගණනාවක මුදලින් කරන ව්‍යාපෘති දැක ගන්නට ය.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග, ක්‍රීඩා පිටි, බලාගාර ආදිය වෙනුවෙන් පමණක් නොව මහා විශාල වරායක් වෙනුවෙන්ද චීනය මේ මුදල් ආයෝජන කරමින් සිටිති.
දඩාවතේ යන බල්ලන්ගේ නොනවත්වා බිරීමත්, දියඹට පැමිණි ධීවරයන් වටා පියාසර කරමින් හඬ නංවන සිය ගණනාවක් වූ කපුටන් ගේ හඬත් තොර තෝංචියක් නැත. එසේ වුවද කලබලකාරී වූ ධීවරයන්ගේ හම්බන්තොට නගරය අද නින්දාවට පත්ව ඇත.
හම්බන්තොට ධීවර ජනතාවගේ ජීවිත උඩ යටිකුරු වී තිබේ. නගරයේ එක් පැත්තක ඉදිවෙමින් පවතින විශාල වෙළඳ සංකීර්ණයකි.

අර්ජුන, දර්ශනී සහ ඔවුනගේ පුතු දනුක මට හමුවූයේ ඔව්හු අලුතින් ඉදි කළ නිවසේ දී ය. එය අලුතින් ඉදිකළා කීව ද කලබලයට හරි හැටියකට නිමකර නොමැති නිවසකි. ධීවර වරායට ආසන්නයේ ජීවත් වූ අර්ජුන රාත්‍රියේ මුහුදු ගොස් ජීවත් වූ ධීවරයෙකි.
එහෙත් චීනයත් ශ්‍රී ලංකාවත් එක්ව අත්සන් කළ ගිවිසුම අනුව මේ නවීන පන්නයේ හම්බන්තොට වරාය නිසා අර්ජුන මෙන්ම තවත් පවුල් 600 ක් තම පරම්පරාගත ඉඩ කඩම් අත් හැර දමා, අලි, වඳුරන්, මී හරකුන්, පිරුණු වදුළකට ගාල් කෙරිණ.
පරම්පරාවෙන්ම සශ්‍රීකව තිබූ කොස් දෙල් පොල් සහිත ඉඩ කඩම් අතැර දමා පදිංචි වූ මේ ප්‍රදේශයේ ආසන්නතම වෙළඳ සැලට කි.මී. 20 ක් යා යුතුය. පුතු දනුකගේ පාසැලට ද එවැනිම දුරක් ඇත.
තම පරම්පරාගත ජීවන උපායන් අත් හැර දමා ඔව්හු මේ දුෂ්කර ජීවන ක්‍රමයට තල්ලු කර දමා ඇත්තේ චීනය මේ වන විට ලොව පුරා ඉදිකරමින් යන්නා වූ වරායවල් අතරට ශ්‍රී ලංකාව ද එක් කරගෙන ඇති නිසා ය.
හම්බන්තොට වරාය අවට වර්ග කිලෝ මීටර 60 ක ප්‍රමාණයක් වටා ආර්ථික කලාපය ලෙස නම් කරමින් එය වරාය දක්වා ව්‍යාප්ත කෙරේ.
ණයට හිලව්වට අයිතිය:
මෙම වරාය 2007 දී නිම කළ යුතුව තිබිණ. එදා වරාය ඉදි කළ චීන සමාගමට ගෙවිය යුතු වූ මුදල ලංකාවට ගෙවා ගත නොහැකි විය. එහි ප්‍රතිඵලය ලෙස චීන රජය හම්බන්තොට වරාය වසර 99 ක බද්දට ලියා ගනිමින් අයිතියෙන් විශාල පංගුවක් ලබා ගත්තේ ය.
“හම්බන්තොට වරාය නිදහස් වරායක්. මුහුදු සැතපුම් දහයක් දකුණට විහිදෙනවා. මෙය ලෝකයේ ක්‍රියාකාරී වරායන් අතුරින් එකක්. අපි මෙහේ කර්මාන්ත, පිරිපහදු මධ්‍යස්ථාන පිහිටුවනවා.” වරාය අධ්‍යක්ෂ රවීන්ද්‍ර ජයවික්‍රම පැවසීය.
පසුගිය වසර 8 ඇතුලත චීනය ලංකාව තුල ස්වීඩන ක්‍රෝනා මිලියන 126 ක් විවිධ ව්‍යාපෘති සඳහා යොදවා ඇත. (ඇමරිකානු ඩොලරයක් ස්වීඩන ක්‍රෝන 9.03 කි) මා මුලික් සඳහන් කළ පරිදි මේ මුදල් යොදවා ඇත්තේ අධිවේගී මාර්ග, ක්‍රීඩා පිටි, හෝටල, බලාගාර, මෙන්ම වරායන් තැනීමට ය. ශ්‍රී ලංකාවේ අගනුවර සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගනිමින් ඇත. මේ වන විට කොළඹ වරායේ බහලුම් (කන්ටේනර්) අංගනයට පමණක් ස්වීඩන ක්‍රෝනා මිලියන 2.5 ක් යොදවා ඇත.
අද චීනය ප්‍රධානතම වරාය ක්‍රියාකරුවන් ය. ලෝකයේ ප්‍රධානතම වරායන් 50 ක් අතුරින් 30 කම සම හිමිකරුවන් ය. මේ අතර ලෝකයේ කන්ටේනර් ප්‍රවාහනයේ 67% ක්ම පාලනය කරනුයේ ද චීනය යි.
චීනය ගෙවී ගිය වසරක කාලයේ දී ස්වීඩන ක්‍රෝන මිලියන 380 ක් විවිධ වරායන් 40 ක් වෙනුවෙන් ආයෝජනය කර ඇත. මේ අතරට ලංකාවේ හම්බන්තොට, පාකිස්ථානයේ ග්වාද්රි, නෝර්වේහි Kirkens, රුසියාවේ Archangelsk ද වෙති.
චීනයේ මෙම ග්‍රහණය පිලිබඳ අදහස් දක්වන, ඉන්දියාවේ දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්ය මද්හාව් නලපාත් පවසන්නේ…
“චීනය, ඇමෙරිකාවේ ලෝක බලවතා යන චිත්‍රයට අභියෝග කරමින් ඉන්නේ. චීනය ක්‍රියා කරන්නේ බොහොම විධිමත්ව. පෞද්ගලික ව්‍යාපාර ලෙස මතු පිටින් පෙන්වන ව්‍යාපාර සියල්ලක්ම සැබැවින්ම පාලනය කෙරෙන්නේ කොමියුනිස්ට් පක්ෂය සහ රජය විසින්.” මහාචාර්ය නලපාත් භූගෝලීය දේශපාලනය පිළිබඳ විශේෂඥවරයෙකි.
තව දුරටත් අදහස් දක්වන මහාචාර්ය වරයා පවසන්නේ “චීනය අති විශාල මුදල් ලබා දෙන්නේ 1800 යුගයේ දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය තම අධිරාජ්‍යයන් ඉදි කිරීමට තුවක්කු රාජතාන්ත්‍රිකය යොදා ගත්තා වගේ. ශ්‍රී ලංකාව චීනයට ඇති ස්වීඩන ක්‍රෝනා මිලියන 64 ක ණය මුදල තමයි මේ දෙරට අතර තියෙන තද බැඳීමට හේතුව.
ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවට මෙතරම් විශාල ණය මුදලක් නැවත ගෙවා ගන්න බැහැ. මේ නිසා රජයට සිද්ධ වෙනවා රජය සතු වත්කම්, සම්පත්, භූමියෙන් මේ ණය ගෙවන්න. ඒ නිසා තමයි රටේ ඉඩ කඩම් සම්පත් චීනයට පවරන්නේ.” මහාචාර්ය වරයා තවදුරටත් පවසයි.
අපිට වෙන විකල්පයක් නැහැ:

“අපිට වෙන විකල්පයක් නැහැ…” එසේ පවසන්නේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂ පරාක්‍රම දිසානායක ය. “මේ වගේ විශාල ණය බරක් තියෙන රජයකට එම ණය ගෙවා ගන්න බැරිවෙන කොට කරන්න තියෙන එකම විසඳුම ඒකයි.” ඔහු ස්වීඩන රූපවාහිනියට පැවසීය.
මේ හේතුවෙන් මේ කුඩා හම්බන්තොට නගරයත් 2,50,000 ක ජනතාවත් චීනයට අවුරුදු 99 කට බදු දී ඇත.

“මේ රජය රටේ සම්පත් 99 අවුරුද්දකට බදු දෙමින් සෙල්ලම් කරනවා.” හම්බන්තොට විරුද්ධ පාක්ෂික මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු එසේ පැවසුවත් ඔහුගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2008 දී විශාල ණය මුදල් ලබා ගත්තේ විවිධ ව්‍යාපෘති වලට කියා ය. ඒ ව්‍යාපෘති බොහෝ ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථකය. හම්බන්තොට වරායද එවැන්නකි. එපමණක් ද නොව වසර 26 ක් පුරා පැවැති යුද්ධයට අවි ආයුධ මිලදී ගැනීමටත් චීනයෙන් ණය ලබා ගත්තේ ය.
එදා පැවැති රජය චීනයෙන් යැපෙමින් විවිධ ව්‍යාපෘති පවත්වාගෙන යාමත් එම ව්‍යාපෘති නිසාම සිදුවූ අති මහත් දූෂනයත් නිසාම ඇති වූ විවේචන විරෝධතා නිසා 2015 දී එම රජය බිඳ වැටිණ.
චීන විදේශ ඇමැතිගේ තර්ජනය:
2015 දී පැවැති රජය පරදවමින් පැමිණි නව රජය මුලින්ම කෙළේ සියළුම චීන ව්‍යාපෘති නවතා දැමීම ය.
දේශපාලන තොරතුරු වට අනුව වහාම චීන විදේශ ඇමැති වැන් යී කොළඹට පැමිණියේ ලංකාවට පාඩමක් උගන්වන්නට ය.
හම්බන්තොට සහ කොළඹ ව්‍යාපෘති නවතා දමනවා නම් ස්වීඩන ක්‍රෝන මිලියන 64 ක මුදල වහාම ආපසු අවශ්‍ය බව දැන්වීය. ඔහුගේ ආගමනයෙන් පසු එම ප්‍රධානම විශාල ව්‍යාපෘති නැවත චීනයට හිමි වූයේ තවත් පරම්පරා 3 ක අයිතිය ද චීනයට ලබා ගනිමිනි.
ත්‍යාගශීලී ණය ලබා දීමෙන් පසු ඒ ඒ රටෙහි භූමියට, වරායන්ට අයිතිවාසිකම් කියමින් පාලනය කිරීමේ චීන ක්‍රමය යෙදූ තවත් රටවල් ඇත. මේ ක්‍රමයට හසු වූ රටවල් අතර ටැන්සානියාව, කෙන්යාව, නැම්බියාව, පාකිස්ථානය, මාලදිවයින ද වේ.
චීනය සතුව ලෝකයේ ප්‍රධානතම වෙරළාරක්ෂක හමුදාව පමණක් නොව වේගයෙන් දියුණුවන හමුදා යානා ද, විශාලතම ධීවර යානා 200,000 ක් පමණ ද වේ.
මෙම වර්ධනය ඉන්දියාවේ සහ ඇමරිකාවේ සැක මුසු කනස්සල්ලට හේතු වී ඇත. ඉන්දියාව ද මෙයට පිළිතුරු දෙමින් ඕමානයේ, ඉරානයේ සහ සීෂෙල්ස් වරයාන්හි පාලනය අතට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ වරායක් පිහිටුවීමට ද ඉන්දියාව සැලසුම් කර සිටී.
නෝ කතා චීනුන්:
චීනයේ අරමුදලින් ගොඩ නැංවෙන නව වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යාපෘති ප්‍රධානී චන්ද්‍ර ගුණවර්ධන අදහස් දක්වන්නේ සතුටින් ය.
“මෙවැනි විශාල ව්‍යාපෘතියක් මෙයට පෙර මම කරලා නැහැ. වෙරළේ ඉඳන් කි.මී.2.5 ක් දුරින් ගොඩබිමක්..! එය ඉතා ආකර්ෂණීය වේවි.”
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ සේවයේ නියුතු 1500 ක් වූ සේවකයන් අතුරින් 300 ක් දෙනා චීන ජාතිකයින්ය. ඔවුන්ගේ සේවාව පිළිබඳ චන්ද්‍ර ගුණවර්ධනට ඇත්තේ පැහැදීමකි.
“මේ මිනිස්සු අපේ අයට ආදර්ශයක්. කිසිම ඕපාදූප කතාවක් නැහැ. දවස් හයක්, පැය 12 ගණනේ වැඩ කරනවා.”
කෙසේ නමුත් අපි ඔවුන් සමග සාකච්ඡා කිරීමට විමසූ විට ඔව්හු හිස වනා එය ප්‍රතික්ෂේප කෙළෝය. ලංකාවේ ජනතාව අතර ප්‍රචලිත මතය නම් චීනය සිරකරුවන් ගෙනැවිත් වැඩට දමනවා කියා ය.
නමුත් මේ චීන ජාතිකයන්ගේ ක්‍රමය යි. කිසි විටෙක විවේචනාත්මක සම්මුඛ සාකච්ඡා හෝ කතා බස් නොකර ඔවුන්ගේ සංවර්ධන කටයුතු සීරුවට කරගෙන යති. ඔවුහු අදහස් පළ කරන්නේ පුවත් පත් නිවේදන වලින් පමණි.
රටවල් අතර සාකච්ඡාවක් නම් එය සිදුවන්නේ පාලකයන් සමග පමණි. මාධ්‍ය හෝ අතරමැදියන් එහි නැත.
චීනයේ මේ ආයෝජන පැවැති රජය බිඳ වැටීමට හේතු වුවද, චීනයේ ආයෝජනයන්ට කැමැත්ත පළ කරන කොටසක් ද ශ්‍රී ලංකාවේ වෙති. එයට හේතුව නම් ශ්‍රී ලංකාව යුද්ධමය අවස්ථාවක පවතිද්දී චීනය අවි ආයුධ සහ ණය ලබා දෙමින් සහාය දැක්වූ නිසා ය.
“අපිට බටහිර රටවල් වල තිබෙන චීන භීතිකාව නැහැ.. අපි එකේ විරුද්ධ පැත්තෙ. හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජිත නතාෂා ගුණරත්න පැවසුවා ය.
ඉන්දියානු බැඳීම් ගණනාවක් සහිත ශ්‍රී ලංකාව නම් කුඩා රාජ්‍යයට මග හැරිය නොහැකි චීන ණය උගුලක හිරවීමෙන් නිදහස් විය හැකිද යන්න ප්‍රශ්නයකි.
(ලංකාඊනිව්ස්)

Share on Google Plus