භික්‍ෂුවගේ සමාජ මැදිහත්වීම ?

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩු විභාගයෙන් උන්වහන්සේ වරදකරු විය. අදාළ වරද කිසිදු ආකාරයකින් ශාසනික හෝ ජාතික වටිනාකමක් ඇති දෙයක් නොවේ. 
එය උන්වහන්සේ අනුගත ආගම නිකාය හෝ රුචි කරන ජාතිකත්වය හෝ වැනි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමක්ද නොවේ. 
රණ විරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් නම්, හමුදාපති සරත් ෆොන්සේකා සිර ගත කළ අවස්ථාවේද එවැනි කැරැල්ලක් ගැසිය යුතුව තිබිණ. සරත් ෆොන්සේකා සම්බන්ධ කාරණාවේදි මල්වතු මහ නා හිමියෝ පෙනී සිටියහ. එදා මල්වතු මහ නා හිමියන්ට එරෙහිව කඹුරුගමුවේ වජිර, උඩුවේ ධම්මාලෝක සහ අතුරලියේ රතන වැනි ප්‍රකට භික්‍ෂුහූ වීදි බැස්සාහ. එසේම සිල් රෙදි නඩුවේ දඩ ගෙවීමට අට පිරිකරට අයත් පාත්‍රය ගෙන පිණ්ඩපාතයෙහි හැසිරීම සාසන විලෝපනයකි. 
බුද්ධ දේශනාවට අනුව, දානය සඳහා යොදා ගත හැක්කේ පවිත්‍රව උපයා ගත් ධනය පමණකි. එකී ධනය වංචනික බව රටේ නීතිය තීන්දු කරයි. මෙය බුද්ධ නීතියද ඉක්මවා යෑමකි. තම සැමියා විනාශ කිරිම ගැන දෙදරු මවක් අධිකරණය ඉදිරියට පැමිණ සාධාරණත්වය අපේක්‍ෂා කළාය. එකී නෛතික ක්‍රියාවලිය අතර, බුද්ධ චීවරය පාවිච්චි කරමින් අධීකරණ කටයුතුවලට බාධා කිරිම, එකී කාන්තාව බිය වැද්දීම බෞද්ධ භික්‍ෂුත්වයට අනනුකූල ය. අතාර්කිකය. ගලගොඩඅත්තේ හාමුදුරුවෝ නියෝජනය කරන නිකායික සංඝ සභාව මේ ගැන කුමක් කියත්ද?
මේ වනවිට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු ගණනාවකි. ඉන් එකක් බලපත්‍රයක් නැතිව අලියකු සන්තකයේ තබා ගැනිමය. දෙවැන්න ශබ්ද විකාශන මගින් පිරිත් ප්‍රචාරය කර සිදුකළ මහජන පීඩාවය. එකී ක්‍රියාවෙන් පිඩාවට පත්වන්නේ බෞද්ධයන්ය. එය තක්කඩිකමකි. දඹුල්ල පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවර භික්‍ෂුවක ස්ත්‍රි දූෂණ චෝදනාවක් නගා අධිකරණයට පැමිණවීය. උසාවියට අපහාස කිරිමේ චෝදනා ලද භික්‍ෂුහු රාශියක් නිතර අධීකරණය හමුවේ පෙනී සිටිති. මේ සියල්ල රටේ පවත්නා නීතියට පටහැනි බව දැන සිවුරට මුවා වී සිදුකළ ක්‍රියාකාරකම් ය. මේවා ශාසනික ක්‍රියා නොවේ. ඒ අතර සංස්කෘතික ත්‍රිකෝණයේ දේපළ අවභාවිත කිරිම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනිීමට ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා කැඳවීම ගැන සමහර භික්‍ෂුහු කැලඹී සිටිති. රටේ නිතිය අනුව යම් පුද්ගලයකු පිළිබඳ විමර්ශනය කිරිමට එරෙහිව මෙසේ චිවරය පාවිච්චි කිරිම බරපතළ තත්ත්වයකි.
මේ සාරාංශ කළ සිද්ධීන් බෙහෙවින් බරපතළ වේ. සියලු දුක් නිවා, නිවන් දැකීමේ අරමුණ කරා යන ඍජු මාර්ගය ලෙස සැලකෙන භික්‍ෂු ශාසනයේ සාමාජිකයන් මෙසේ හැසිරිම බරපතළ විකෘතියකි. අසම්මත ලිංගික ක්‍රියාකරකම් විකෘති හැසිරිම් ලෙස දැක්වේ. ඒ අනුව ඉහත දැක්වෙන භික්‍ෂු ක්‍රියාකාරකම් පිළිවෙත් සපිරි ලාංකේය බෞද්ධ භික්‍ෂු සමාජයේ විකෘතින් නොවන්නේද? මේ රටේ ගිහියන්ට භික්‍ෂුන් ශීලයෙහි පිහිටුවිමේ හෝ භික්‍ෂුන් පාලනය කිරීමේ උවමනාවක් නැත. එය සංඝ සමාජය සතු වගකීමකි. එහෙත් සංඝ සමාජයෙහි ස්වකීය සමාජ භාවිතයේ වපසරිය ඉක්මවා යෑම බරපතළ වේ. ගලගොඩඅත්තේ හිමියන් කළේ තම සැමියාට සිදුවූ අපරාධය ගැන පැමිණිලි කළ දෙදරු මවක බිය ගැන්වීමය. මිනිසුන් සන්සුන්ව සිටින අවස්ථාවල ශබ්ද නගා පිරිත් ප්‍රචාරය කිරිමද මෙවැනි ක්‍රියාවකි. මේ සිදු වන්නේ චේතනාන්විතව ජනතාවගේ සුරක්‍ෂිත භාවයට මෙන්ම නීතියට අධීකරණයට අභියෝග කිරිමය.
නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ අනවසර ඉදි කිරිම් නඩුව චාවාකච්චේරි මහේස්ත්‍රාත් එස්. චන්ද්‍රසේකරන් මැතිනිය වෙත ඉදිරිපත්වූ අවස්ථාවේ භික්‍ෂුවකට අසුන් පනවා ගිලන්පස පිළිගැන්වීම ප්‍රසිද්ධ කාරණාවකි. අදාළ භික්‍ෂුන් වහන්සේ අධීකරණයට වැඩම කළේ ශාසනික ක්‍රියාකාරකම් නිසා වීමය. එදා චාවාකච්චේරි අධීකරණයේදි ලද අවධානය සැලකිල්ල හා ගෞරවය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට හෝමාගම අධීකරණයේදී නො ලැබිණ. හේතුව සිය සැමියා අතුරුදන්විම පිළිබඳ අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ වීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇති අයිතිය රටේ නීතියෙන් හෝ බුද්ධ දේශනාවෙන් අහිමි කර නො තිබීමය. උඩුවේ ධම්මාලෝක හිමියන් මහජනයාට අවහිර වන ආකාරයට ශබ්ද වාහිනි පාවිච්චි කරමින් සිදු කළ ක්‍රියාව හෝ වංචනික ලෙස අලියකු සන්තකයේ තබා ගැනීමේ ක්‍රියාව රටේ නීතියට හෝ බුද්ධ දේශනාවට එකඟ නැත. දඹුල්ල ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක්ව සිටින භික්‍ෂුව කළ ක්‍රියාව රටේ නීතියට හෝ බුද්ධ දේශනාවට එකඟ නැත. බෞද්ධ භික්‍ෂුවගේ සමාජ කාර්ය භාරය පිළිබඳ හින්දු භක්තික චාවාකච්චේරි මහේස්ත්‍රාත් තුමියට මෙන්ම හෝමාගම මහේස්ත්‍රාත්තුමාට පවත්නා අවබෝධය අපේ සමහර බෞද්ධ භික්‍ෂුන්ට නැතිවීම කනගාටුවකි. ලාංකේය බෞද්ධ භික්‍ෂු සමාජය තුළ වර්ධනය වන මෙකී විකෘති සමාජ මැදිහත්වීම පිළිබඳ යම් සංවාදයක් ඇති කළ යුතුව ඇත.
වර්තමාන සංකීරණ සමාජ පැවැත්ම තුළ බෞද්ධ භික්‍ෂුව පිණ්ඩපාතිකව, ආරණ්‍ය වාසීව සිටිය යුතු යයි මෙයින් අදහස් නොකෙරයි. එහෙත් භික්‍ෂුත්වයට හිමි ශික්‍ෂණය සහ සංවර භාවය විනාශවිම බරපතළය. බෞද්ධ භික්‍ෂුන් වහන්සේට පැවරි ඇති ඓතිහාසික මෙන්ම ශාසනික වගකීම කිසිදු ගිහියෙකු භික්‍ෂුන් වහන්සේට සිහිපත් කළ යුතු නැත.
නිකාය සහ ආරණ්‍ය හා ග්‍රාමවාසි ආදි වෘත අනුව බෙදී සිටින භික්‍ෂු සමාජයට අදාළ අනන්‍යතා ගැන ගිහි සමාජයට පුළුල් වැටහීමක් ඇත. දෙවුර වැසිම, පාත්‍රය දැරිම පිණ්ඩපාතික විම මුදල් පරිහරණය ආදි ප්‍රකට අනන්‍යතා බොහෝ වෙයි. එහෙත් සතුන් හීලෑ කර රැකීම දේශනා පාලියෙහි අනුදැන නැත. වර්තමානයෙහි ආගමට සම්බන්ධ පෙරහර ආදි සංස්කෘතික අංග නිසා භික්‍ෂුන් සතුන් ඇති කිරිමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එවැනි අභ්‍යාසයන් අතර උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අලි සොරකම ගැන පවත්නා නඩුව භික්‍ෂුත්වයට එරෙහි එකක් නොවේ. එකී චෝදනාව ගැන ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය කුඩා දරුවන්ගේ පවා හාස්‍යයට ලක් විය. එසේම දඹුල්ලේ ක්‍රිකට් ක්‍රිඩාංගණය සම්බන්ධව අපවත්වි වදාළ අස්ගිරි මහා නායක උඩුගම බුද්ධරක්ඛිත හිමියන් පාරේ නිදා ගන්නා බවට කළ තර්ජනය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට සමාන එකකි. එසේම ගලගොඩඅත්තේ හිමියන් වරදකරුවු හැසිරීම යහපත් බවට උක්ත අස්ගිරි මහනාහිමියෝ ප්‍රකාශ කළහ. අපවත්වි වදාළ බෙල්ලන්විල විමලරතන නා හිමියන් ගලගොඩඅත්තේ භික්‍ෂුව භික්‍ෂුත්වයට නො ගැළපෙන බවට කළ ප්‍රකාශයද මෙහිලා සිහිපත් කළ යුතුවේ.
මේ කරුණු දැක්විම හරහා ලාංකේය බෞද්ධ භික්‍ෂුන් වහන්සේ තුළ ගොඩනැගෙමින් පවත්නා ශාසනික ආකෘතිය විකෘති කිරිමේ නැඹුරුව බරපතළ වේ. එහෙත් ඉතා ගෞරවයෙන් සඳහන් කළ යුතු වන්නේ මේ කියන විකෘති තත්ත්වයට සකල භික්‍ෂු සමාජය වගකිව යුතුත නැති බවය. එකී තත්වය බහුතර භික්‍ෂු සමාජය අනුමත නොකරන බවද අවධාරණය කළ යුතුව ඇත. ඊට හොඳම උදාහරණය ගලගොඩඅත්තේ හිමියන් වැරැදිකාරයා කළ නඩුවේ සිද්ධිය සමඟ අපවත්වි වදාළ අස්ගිරි මහා නායක උඩුගම බුද්ධරක්ඛිත හිමියන් කළ ප්‍රකාශය නිශේධ කරමින් බෙල්ලන්විල නා හිමියන් ස්වකීය මතය සමාජගත කිරිමය. රටේ පවත්නා යම් නිතියක් කැඩිමට, යම් ආලෝලනයක් ඇති කිරිමට එක්වන ප්‍රකට භික්‍ෂු පිරිසක් වෙති. පසුගිය වෙසක් අධි පෝය සම්බන්ධව අනුනායක හිමි නමක් කළ ප්‍රකාශයට නිවැරැදි උත්තරය ලැබුණේ දෛවඥයෙකුගෙනි. ඔහු සිය පැහැදිලි කිරිමේදී බෞද්ධ කොඩිය ප්‍රකාශයට පත් කළ දිනය පවා උපුටා දැක්වීය. ඒ උත්තරය ලැබුණේ උදය ගම්මන්පිලට හෝ වීරවංශට හෝ නම් එය වෙනම තත්ත්වයකි. එහෙත් ධර්මධර නා හිමිනමක් මෙසේ අපහසුවට පත්වීම ඛේදනීය තත්ත්වයකි. වෙසක් පෝය දිනය ගැන කතා කරන වැඩිහිටි සංඝයා වහන්සේ තරුණ භික්‍ෂුන් පාරේ නිදාගෙන විරෝධය පෑම අතපය විසි කිරිම ගැන නිහඬය. මෙය වැරැදි ආදර්ශයකි. ශාසනික විකෘතියකි.
ථෙරවාද පනත් කෙටුම් පත ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේගේ ඉල්ලීමකි. ඒ ගැන මහින්ද රාජපක්‍ෂගේ මතය සනාථ කිරිමට අස්ගිරි විහාරවාසී භික්‍ෂු පිරිසක් මුල්වූහ. එහෙත් ත්‍රෛනිකායික මහා නා හිමිවරු ථේරවාද පනතේ කාලින අවශ්‍යතාව ගැන ඍජුව කරුණු දැක්වූහ. පසුගිය දවසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයට පත් මාතලේ ධම්මකුසල නා හිමියන්ගේ අක්ත පත්‍ර ප්‍රදානයේදී අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියෝ භික්‍ෂු සමාජයේ පවත්නා නො පෑහෙන ප්‍රවණතා ගැන කරුණු දක්වමින් නැවත ථෙරවාද පනත ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කළහ.
තමන් වහන්සේ වැඩ වාසය කරන රටේ පවත්නා රාජ නීතියට භික්‍ෂුන් අනුකූල විය යුතුය යන්න බුද්ධ දේශනාව වේ.
විනය පිටකයෙහි අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්ති, ලෙසින් මහණෙනි රජවරුන්ගේ අණ පිළිපැදීම අනුමත කරමි යනුවෙන් දැක්වේ. තත්ත්වය එසේ තිබියදී පසුගිය කාලයේ අවස්ථා රාශියකදී සාමය කඩවෙතිය යන පොලිසියේ ඉල්ලීම සලකා බලා අධීකරණය නිකුත් කළ තහනම් නියෝග නොතකා ප්‍රසිද්ධ ස්ථානවල සමහර භික්‍ෂුන් හැසිරුණු ආකාරය සිහිපත් වේ. ගෝඨාභය රාජපක්‍ෂ අල්ලස් කොමිසමට මුලින්ම කැඳවූ දවස මෙහිදි උදාහරණ ලෙස දැක්විය හැකිය. එදා අල්ලස් කොමිෂන් සභා භූමිය තහනම් ප්‍රදේශයක් කර තිබිණ. පොලිසිය බලෙන් කඩා වැදුණු භික්‍ෂුන්ට මේ අධිකරණ නිවේදනය පෙන්වා දුන්නේය. ඒ අවස්ථාවේ එක් ප්‍රකට භික්‍ෂුවක කීවේ තමන් පැමිණියේ සෙත් පිරිත් කීමට බවය. පසුව අධිකරණයේදී එකී භික්‍ෂුව ඇමතූ විනිසකරු කීවේ බෞද්ධයෙකු වන තමන් පිරිත් කිව යුතු සහ නොකිය යුතු ස්ථාන ගැන හොඳීන් දන්නා බවය. මෙවැනි තත්ත්වයන් අනාගතයේ නිර්මාණය විමට නම්, භික්‍ෂුන්ගේ මෙවැනි මැදිහත්වීම් ගැන කතිකාවක් ඇතිවිය යුතුවේ.
මේ ගැන ශාසනික වශයෙන් යම් තක්සේරුවක් කිරිමට ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ මුල්ව ක්‍රියා කළ යුතුව තිබේ.
භික්‍ෂුව කලක් හමුදා සේවයේ යෙදී සිටි අයෙකු ලෙස ප්‍රකටය. හේ කිසි දිනෙක බණකට පිරිතකට තබා බෝධි පුජාවකට හෝ වැඩම කළ බවක් වාර්තා නොවේ. හෙතෙම ඊයේ පෙරේදා ඉපලෝගම ප්‍රදේශයේ අනවසරයෙන් හාරන ලද පුරා විද්‍යා භූමියෙන් ඉස්මතු විය. ඔහු කළුතර සිට එහි ගියේ ඒ ප්‍රදේශයේ භික්‍ෂුන් නැති නිසා නොවේ.
අනවශ්‍ය ආකාරයට සිවුර පාවිච්චි කරන බලවේගයේ බළල් අතක් ලෙසය. වරක් හෙතෙම ඉන්දිය දෙමළ චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය නොකරන ලෙස බල කරමින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට කඩා වැදිණ. මෙවැනි විසුක දස්සන භික්‍ෂු සාරුප්‍යට උචිත නැත. එහෙත් ක්‍රිකට් හේතුවක් මත පාරේ නිදන බවට තර්ජනය කළ මහ නාහිමියන් කාගේවත් බළල් අතක් බව කිසිවෙකුවත් විශ්වාස නො කරනු ඇත.
බුද්ධාගමේ නාමයෙන් ඒ 26 පාර වසා සිටිමද එවැනි තත්ත්වයකි. මෙය සමහර භික්‍ෂුන් බුද්ධාගම තේරුම් නොගත් බවට සාක්කියක් පමණකි.
ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරුට එරෙහිව පැවති මූල්‍ය අක්‍රමිකතා සම්බන්දව මේ ආකාරයටම අස්ගිරි මහා නායක හිමියෝ මැදිහත් වූහ. භික්‍ෂුවක් මෙසේ මැදිහත්වීම හරහා ආයතන බිය ගැන්වීමක් සිදු කිරිම අපේක්‍ෂා කෙරෙයි.
වර්තමාන තරුණ භික්‍ෂුන් වහන්සේ දේශපාලන සහ වෙනත් සමාජයීය හේතු මත ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන ආකාරය ජුගුප්සාජනකය. ප්‍රසිද්ධ ස්ථානවලදී අවිනීත ලෙස හැසිරෙමින් කාගේ හෝ පහර කෑමකට අඩන්තේට්ටමකට ලක් වීමෙන් වාසි ගැනීමට උත්සාහ කරති. මෙය භික්‍ෂුත්වය බාල්දු කිරීමකි.
මෙවැනි අසංවර මැදිහත් වීම් පිළිබඳ යම් කතිකාවක් ඇති කිරීමේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් උද්ගතවී ඇති බව රහසක් නොවේ.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
Powered by Blogger.