නියගයෙන් අසරණවුවන් ගත් ණය කපා හැරීමට මංගල සුදානම් වෙයි


සුගිය නියඟය බලපෑ ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අතකොලු බවට පත්ව සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවයි. සමෘද්ධි බැංකු හරසර 2018 උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (31) පැවැත්විණි. 


වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -

තවමත් මේ රටේ විශාල පිරිසක් ඉතා පහළ ආදායම් ලබන දරිද්‍රතාවයෙන් පීඩා විඳින තත්ත්වයක පසුවෙනවා.  අපේ රටේ දරිද්‍රතාවය නාගරික ප්‍රදේශවල 1.9%, ග්‍රාමීය පළාත්වල 4.3% වගේම වතු අංශයේ 8.8%  දකින්න පුළුවන්. තවත්මත් කිලිනොච්චිය වැනි දුෂ්කර දිස්ත්‍රික්කවල දරිද්‍රතාවය 18.2% වගේ ඉහළ මට්ටමක තියෙනවා.  ඒ වගේම මොණරාගල, මුලතිව්, මඩකලපුව, බදුල්ල, ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවලත් දරිද්‍රතාවය ඉතා ඉහළයි. ලංකාව දකුණු ආසියාවේ අන්ත දුගී බව අඩුම රට විදිහට අපිට ගොඩක් සතුටුවෙන්න පුළුවන්.  නමුත් විවිධ දුෂ්කරතා මැද්දේ දරිද්‍රතාවයෙන් ගොඩ එන ජනතාවට දිගටම තමන්ගේ ආදායම් මට්ටම හොඳ තත්ත්වයක තියාගන්න බැරි වුණොත් ආයෙමත් ඔවුන් අතර දුප්පත්කම හිස ඔසවන්න පුළුවන්.  ඒ වගේම 2012 දී 6.7% තිබුණ මේ රටේ දරිද්‍රතාවය අද වෙන කොට 4.1% දක්වා අඩුවෙලා තියෙනවා. මේ අඩුවීම සම්බන්ධයෙනුත් සමෘද්ධි බැංකුවට අපි  ස්තුතිය පුදකරන්න ඕනෙ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රකාශිත එකඟතා අනුව 2030 අවුරුද්දේ දී තිරසාර සංවර්ධන ඉලක්කයක් විදියට සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවය අපේ රටෙන් තුරන් කරන්න ඕනේ.  


ඒ නිසා මං කියන්න කැමතියි අපි සියලු දෙනාම හිතට එකඟව කල්පනා කරලා බලලා දරිද්‍රතාවයේ පතුලේ ජීවත් වන ජනතාවට හිමි විය යුතු මුදල්  දේශපාලන වාසියට යොදා ගන්නැතුව ඒ ලැබිය යුතු තැනැත්තන් වෙත ලබාදීම තුළින් පමණයි සම්පූර්ණයෙන්ම දුප්පත්කම නැති කරන්න පුළුවන් බව.



අද දින මේ සම්මානයට පාත්‍ර වෙන සමෘද්ධි බැංකු නිලධාරීන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න කැමතියි.  ඔබලා සියලු දෙනා කැපවීමෙන් මේ පවතින තත්ත්වය තවත් වෙනස් කරලා ඊළඟ වසරේ දී සමෘද්ධි බැංකු හරහා ඉතා ප්‍රතිඵලදායක දියුණුවක් අත්කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.  අපි සියලු දෙනා තමතමන්ගේ පුද්ගලික මතිමතාන්තර පසෙකට දාලා මේ ජාතික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න කැපවීම වැදගත් බව මම මතක් කරන්න කැමතියි.



මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරු ද සහභාගී විය







Share on Google Plus