මෛත්‍රීපාල සිරිසේන ජනපති කිරීමට හරින් ගත් වෙහෙසට අගමැති රනිල් ස්තුති කරයි




පසුගිය ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමටත්, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩුවක් පිහිටුවීමටත්  හැකි වූයේ හරීන් ප්‍රනාන්දු  එදා කළ කැපකිරීම නිස යැයි අග්‍රාමාත්‍යවරයා පවසයි.
රටේ ජනමාධ්‍ය ඇතුලූ අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට බාර දී තිබෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.
ඔහු ඒ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2018 ජුනි 1 වන දින අරලියගහ මන්දිරයේ දී එම පත්වීමේ ලිපිය ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.
“එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.” අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.
(රේඩියෝ ගගන)

Share on Google Plus