සම්මානලාභී පර්යේෂකයාගෙන් දකුණේ වෛරස් උණට සරල පිළිතුරක්



ඉන්ෆ්ලුවන්සා වයිරසය දකුණේ රෝ බියත්, මර බියත් ඇති කළේය. දකුණෙන් පටන්ගෙන බස්නාහිරටත්, එතැනින් රටටමත් ඒ බිය පැතිර ගියේය. ඉන්ප්ලුවන්සාවේ ගොදුරක්ව ජීවිතයට ආයුබෝවන් කියූ වැඩිමනක් පිරිස කුඩා දරුවෝය. දරුවන් උකුළේ රුවාගත් අම්මලාගේ නෙත කඳුළු පිස-ලන පුවතක් නොබෝදා අපට අසන්නට ලැබිණි. එපුවතින් කියැවුණේ දකුණේ පැතිරෙන වයිරසය මඬිනා ක්‍රමයක් දකුණේ පුත්‍රයකු විසින්ම සොයාගනු ලැබ ඇති බවයි. නොපමාව අපි ඔහු සොයාගියෙමු.

මාතර උපන්ගම කරගත් මේ රුහුණු පුත්‍රයා ආදි-රාජකීයයෙකි. මේ වන විට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නැනෝ තාක්ෂණය පිළිබඳ උපදේශකයකු වන ඔහු නමින් මංජු ගුණවර්ධනයි. ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී පර්යේෂණ විද්‍යාඥයා සහ නව නිපැයුම්කරුවා ඔහු බව අවිවාදිතය. නන්විධ ක්ෂේත්‍රයන්හි පැතිර-ගිය ඉසියුම් තාක්ෂණ ඥානයෙන් ඔහු නිහඬවම ලෝකය වඩාත් සුවපහසු තැනක් බවට පත් කරමින් සිටී.

“ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් හිටිගමන් හිස ඔසවන වසංගත රෝග කියන්නේ දරුණු විපත්තියක්! වාතය හරහා විෂබීජ සම්ප්‍රේෂණය වීම කියන්නේ මේවා පැතිරෙන ප්‍රධානතම ක්‍රමයක්. වසංගතයට ගොදුරු වෙච්ච රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලින්, පොදු ස්ථානවලදී මුණගැහෙන ආසාදිත අයගෙන් සහ දීර්ඝකාලීනව වාතයේ විෂබීජ රැඳුණු තැනවලින් නීරෝගි කෙනෙක් වසංගතයක ගොදුරක් වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඒවගේ තැන්වල තිබෙන රෝගකාරක විෂබීජ ඉතාම කාර්යක්ෂමව විනාශකරන තාක්ෂණයක් තමයි මම හොයාගත්තෙ. මේ දවස්වල පැතිර යන ඉන්ප්ලුවන්සා වයිරසය මැඬ-ලන්න මගේ මේ තාක්ෂණය ලොකු උදවුවක් කියලා මම දන්නවා..”

ඔහු කතාවට පිවිසියේ එලෙසිනි. තමන්ගේ මේ අලුත් නිපැයුම තමන්ගේම මිනිසුන්ගේ සුවය පිණිස යොදාගැනෙනු දැකීම මේ තරුණ විද්‍යාඥයාගේ වුවමනාවයි.

“මේ තාක්ෂණය ටිකක් සංකීර්ණ වුණත් සරලව මෙහෙම විස්තර කරන්න පුළුවන්. නැනෝ තාක්ෂණය යොදාගෙන තැනූ අමුද්‍රව්‍යයක් තමයි මේ නිෂ්පාදනයේ පදනම වෙන්නේ. සාමාන්‍ය ආලෝකයේ තිබෙන ශක්තිය යොදාගනිමින් අවට වායුගෝලයේ තිබෙන ඇසට නොපෙනෙන ජල අණු බිඳහෙළන්නට මේ සුවිශේෂ නැනෝ තාක්ෂණික අමුද්‍රව්‍යයට පුළුවන්කම තියෙනවා. ඒ මඟින් බිහි වන අංශුවලට වයිරස, බැක්ටීරියා ඇතුළු රෝගකාරක ක්ෂුද්‍රජීවීන් සම්පූර්ණයෙන්ම පාහේ ඉතා වේගයෙන් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. බෙහෙත් ඖෂධවලින් විෂබීජ විනාශ කරන ක්‍රමවේදයට වඩා මේ තාක්ෂණය මුළුමනින්ම වෙනස්. කාලයක් භාවිතා කරන කොට ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් හදාගන්න විෂබීජවලට පුළුවන් වුණත් මේ ක්‍රමයෙදි එහෙම වෙන්නෙ නැහැ.

“මගේ මේ තාක්ෂණය මූලිකවම වෙළෙඳපොළට නිකුත් වන්නේ විදුලි බුබුළක් විදියට. විෂබීජ පවතින ඕනෑම තැනක මේ විදුලි බුබුළ දල්වා තැබීමෙන් විෂබීජ රහිත අවකාශයක් ඉතා ඉක්මනින් නිර්මාණය කෙරෙනවා. රෝහල් ඇතුළේ මිය-යන වැඩි ප්‍රතිශතයක් මිය-යන්නේ රෝහල තුළම ඉන්න රෝගීන්ගේ විෂබීජ ශරීරගත වීමෙනුයි. මගේ මේ බල්බය මගින් රෝහලක හෝ ඕනෑම තැනක ඇති විෂ පරිසරය සම්පූර්ණයෙන්ම නැති කරන්න හැකියාව තියෙනවා.”

“සාමාන්‍ය සීඑෆ්එල් විදුලි බුබුළකම අපි කලින් කී නැනෝ තාක්ෂණික ද්‍රව්‍ය අඩංගු ආලේපනයක් පිටතින් ගල්වලා තියෙනවා. ඒක මුළුමනින්ම විනිවිද පෙනෙනසුලුයි. ඒ වගේම වියදම ඉතා අවමයි.” මංජු ගුණවර්ධන අපට විස්තර කරයි.

මංජුගේ මේ නව නිපැයුම එක් රැයින් සැබෑවූ හීනයක් නොවේ. හීනය සමඟ ඔට්ටු වෙමින්, වැරදෙමින් ඒත් උත්සාහය අතනොහැර තර කොට අල්ලාගනිමින් සිටීමේ ප්‍රතිඵලයකි. රැයක්-දවාලක් නැති ඒ දුෂ්කර පර්යේෂණ සමය, රැයක් දෙකක් නොව බොහෝ දිගු අවුරුදු හතකි.

ඒ අවුරුදු හත අවසානයේ - එනම්: හරියටම 2012 අවුරුද්දේ - දවසක ඔහු මේ අලුත් නිපැයුම ලෝකයට තිළිණ කළේය. ඒ වෙනුවෙන් වූ පේටන්ට් අයිතිය ඔහුගේ නමට දැන් ලියැවී තිබේ.

ඒත් අවාසනාවට ඇත්තම කතාව ඒ නිපැයුම සාදරයෙන් පිළිගන්නට ශ්‍රී ලංකාව පසුබට වීමයි. ලෝකයේ වෙනත් රටවල් මංජුගේ නව නිපැයුම හරසරින් පිළිගත් නිසා නිසි වටිනාකම ලැබුණු තැනට නිපැයුමේ මහත් පළ ලබාදෙන්නට මංජුට සිදුව තිබේ.

“මේක දැනට ඉන්දියාවේ අනුමත වෛද්‍ය උපකරණයක් හැටියට පාවිච්චි වෙනවා. සිය දහස් ගණනක් පර්යේෂණ කරලා ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා මේ නිෂ්පාදනය නිසා මිනිස් සිරුරට කිසිම ආකාරයක අහිතකර බලපෑමක් නෑ කියලා. ඒ වගේම මෙහි විෂබීජ නසන හැකියාව 99%ටත් වැඩිබව ලොව පුරා පර්යේෂකයන් තහවුරු කළා.

මේ නිසාම මගේ මේ බල්බයට 2012 වර්ෂයේදී ජිනීවාහි ලෝක නව නිර්මාණ කොංග්‍රසයේ රන් පදක්කමක් පවා ලැබුණා. ඒ සම්මානය ලැබුණු මොහොතේ අපේ රටේ අය මේ ගැන කතා කළා මිසක් එතැනින් එහාට මේකේ මහා සෞඛ්‍යමය වාසිය අපේ රටේ මිනිස්සුන්ට ලබාදෙන ප්‍රායෝගික වැඩක් ගැන කවුරුත් කතා කළේ නෑ.”

“ඉන්දියාව සහ එංගලන්තයේ බොහෝ විද්‍යාඥයන් මම හදපු මෙම බල්බය දැල්වීමෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මුළුමනින්ම විනාශ කරන්න පුළුවන් බව තහවුරු කරගෙන තියෙනවා. ඉන්දියාවේ ඇමසන් වැනි ආයතන පවා ඉදිරියේදී මෙම බල්බය බෙදාහැරීමට නියමිතයි. ඒ රටේ මේ බල්බ් නිපදවන කර්මාන්තශාලාවක් පවා බිහි වුණා. ඒ විතරක් නෙවෙයි; ඉන්දියාවේ බොහෝ වෛද්‍යවරු දීර්ඝකාලයක් රෝහල්වල ප්‍රතිකාර ගෙන සුව වුණු රෝගීන්ට නිවෙසේ මේ බල්බය දැල්වීමට නියම කරනවා. හිටපු ජනාධිපති අබ්දුල් කලාම්ගේ පෞද්ගලික වෛද්‍යවරයා පවා මෙම බල්බය අනුමත කළා.”

“ඕනෙම නිවෙසක වැසිකිලිය, නානකාමරය වැනි ස්ථානවල විෂබීජ සියයට සියයක්ම වගේ විනාශ කිරීමේ හැකියාව මේ බල්බයට තිබෙනවා. කුස්සිය වගේ විෂබීජ අවම විය යුතු තැන්වල මෙය දැල්වීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන්දියාවේ නම් බොහෝ සැත්කම්වලට ලක් වුණු අය රෝග කාරකවලට නිරාවරණය වේවි කියන සැකය දුරු කරගන්න පවා මේ බල්බය භාවිතා කරනවා.

“මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධව වගකිව යුතු ඉහළම නිලධාරියාට පවා මේ නිෂ්පාදනය ගැන මම පෞද්ගලිකවම කතා කළා. ඒත් තවම ඔවුන්ට කිසිම වුවමනාවක් නෑ.” නව නිපැයුම්කරුවකු පුවත්පතක් සමඟ සම්බන්ධ වූ හැම වතාවකම වාගේ මෙවර මංජු ද අප සමඟ කළ කතාව නිමා කරන්නට සැරසෙන්නේ කලකිරීමකිනි.

“ඉන්ප්ලුවන්සා වයිරසය නිසා දකුණේ මිනිස්සු හරි අමාරු අඩියකට වැටිලා ඉන්නේ. ඉස්පිරිතාල ඇඳන් උඩ මේ මිය-යන්නේ මගේ ගමේ මිනිස්සු. මේ වෙලාවේ කල දුටු කල වළ ඉහගන්න මම මගේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරනවා කියලා කෙනකුට හිතෙන්නත් පුළුවන්. ඒත් මට කිසිම ආර්ථික වාසියක් ගැන බලාපොරොත්තුවක් නෑ. එහෙත් මම කළ මේ නව තාක්ෂණික නිපැයුම මගේ මිනිසුන්ව සනීප කරන්න යොදාගන්නවා දැකීම තරම් වෙන සතුටක් මට මේ වෙලාවෙ නෑ...”

හීනයක් සමඟ ඔට්ටු වී අවසානයේ මංජු තම වැඩය ජයග්‍රාහි ලෙස නිමා කර බලා සිටී... සෞඛ්‍ය බලධාරීනි, දැන් උදා වී ඇත්තේ ඔබේ වාරයයි!

Sri Lanka Institute of Nanotechnology
Nanotechnology & Science Park
Mahenatte, Pitipana, Homagama
Sri Lanka.
Telephone
+94 11 4650500 - Mr. Manju Gunawardana
Fax
+94 11 4650532
+94 11 4741995
Share on Google Plus