නැවත නැවත සිහිපත් කලයුතු අපරාධය කුමක්ද? යාපනය පුරපති පැහැදිලි කරයි(Video)



දකුණු ආසියාකරයේ අනගිතම ග්‍රන්ථ එකතුවක් වූ යාපනය පුස්තකාලය තිස් හත් වසරකට ඉහතදී ගිනිබත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සියලුදෙනාම වගකිව යුතු බව සංහිඳියාව භාර අමාත්‍යවරයා පවසයි.
වර්තමාන අගමැතිවරයා ඇමැති ධුරය දැරූ ආණ්ඩුවක මැති ඇමැතිවරුන් හා හමුදා-පොලිස් නිලධාරීන් මුල්වී යාපනය පුස්තකාලය ගිනිතැබීම ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා විසින් හඳුන්වන ලද්දේ “එක් සිදුවීමක් පමණක්” ලෙසය.
“එක අවස්ථාවක එක සිදුවීමක් පමණක් කොටු කරගෙන එයා විතරයි වැරදිකරු කියන්න බෑ,” යි මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“ජාතිවාදය – අපි හැමෝටම අයිතියි ඒක. කොළ පාට, නිල් පාට අයිතියි. රතු පාටත් අයිතියි. සිංහල යටත් දෙමළ අයටත් අයිතියි. ඔක්කොම වරද්දා ගත්තා.”
අමාත්‍යවරයා තම ප්‍රකාශය කොළඹදී කළේ උතුරේ මහ පොත් ගුලට කළ අපරාධය යාපනයේ දී ශෝකානුස්මරණය කෙරෙද්දී ය.
ඩේවිඩ් පියතුමා
පුස්තකාලය ගිනිගනු දැක හෘදයාබාධයක් වැළඳී මියගිය ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූපයක් අබියස කෙරුනු පුෂ්පදීප උපහාරයකින් කරන ලද අනුස්මරණයට පුස්තකාල කාර්යමණ්ඩලය, උතුරු පළාත් සභාව, යාපනය නගර සභාව සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ විවිධ අවස්ථා වලදී එක්විය.
අනුස්මරණයට එක්ව සිටි යාපනය පුරපතිවරයා පුස්තකාල විනාශය හැඳින්වූයේ “දෙමළ සංස්කෘතික වර්ග සංහාරයේ ආරම්භය” ලෙසිනි.
“මේවා නැවත නැවත සිහිපත් කිරීමෙන් තමයි ජාතියට සිදුකළ අපරාධය අනාගත පරම්පරාවට දැනගන්න හැකි වන්නේ. අයිතීන් දිනා ගැනීමට සිහිපත් කිරීම වැදගත්,” යයි පුරපති ඉමානුවෙල් ආනොල්ඩ් කියා සිටියේය.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ “ඉතිහාසය දෙස බලා වැරදි හදාගෙන යමින්,”  සිටින බවයි.



සිරිල් සහ ගාමිණී
දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත  මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික  වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.
ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු  අවස්ථාවේ  එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.
ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.
ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.
(රේඩියෝ ගගන)
Share on Google Plus