සයිටම් අර්බුධය - දෙමාපියන්ගෙන් විජේදාසට යෝජනා

තවමත් අවසන්ව නොමැති සයිටම් අර්බුධය සම්බන්ධව ස්ථිර විසදුමක් ගැනීමට අදාල යෝජනා කිහිපයක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.
සයිටම් අර්බුධය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩුව සදහා අවශ්‍ය නිවැරදි කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිසි විසදුමක් නොලැබී නැවතත් මෙම අර්බුධය වැඩි විය හැකි බව පෙන්වා දෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙම යෝජනා ඉදිරිපත් කරයි.
ඔවුන් ඉදිරිපත් කරන යෝජනා මෙසේය.
  1. සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය වෙත ලබාදුන් ලිඛිත පොරොන්දුව මත සයිටම් ආයතනය අහෝසි කරන බවට සදහන් ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීම හා එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම.
  2. විශ්ව විද්‍යාල පනත අනුව වෛද්‍ය උපාධිය ප්‍රධානය කිරීම සදහා වන විශේෂ වෘත්තීමය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකයක් සයිටම් ආයතනය වෙත ලබා දී නොමැති බව අධිකරණය වෙත දැන්වීම.
  3. මේ වන විට රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් විසින් 2018-05-25 ගැසට් නිවේදනය අනුව සයිටම් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනයට S සාමාර්ථ 03 ක් පුමාණවත් බව සදහන් කිරීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලින් බැහැර වන බව ප්‍රකාශ කර ඇත. ඒ හේතුවෙන් වෛද්‍ය සභාව විසින් තීරණය කර ඇති අවම ප්‍රමිතීන් අධිකරණයට ඉදිරිපත්ව ඇති හෙයින් හා ඉදිරියේ දී අර්බුධකාරී තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සදහා මෙම ගැසට් පත්‍රය සංශෝධනයට පියවර ගැනීම.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පැවසූයේ, ඉදිරි සතිය තුළ මෙම යෝජනා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවය. 
එමෙන් ම තවදුරටත් මේ රටේ දරුවන්ගේ හා ඔවුන්ගේ අධ්‍යාපනය බිල්ලට නොගෙන මෙම ගැටළුවට ස්ථිර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
තව ද විදෙස්ගතව සිටින ශ්‍රී ලංකාකිකයන් ද අධ්‍යාපනය විකිණීමේ පියවරක් වන මෙම සයිටම් අර්බුධය සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඒ සම්බන්ධව එම රටවල තානාපති කාර්යාල දැනුවත් කර ඒ හරහා ලංකා ආණ්ඩුව වෙත බලපෑමක් කිරීමට එක්වන ලෙස ද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඉල්ලීමක් කර සිටියි.
උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ වන විට සයිටම් අර්බුධය සදහා ගෙන ඇති තීරණ යම් සාධනීය මට්ටමක පවතින බැවින් මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් මෙන් ම ලංකාවේ මහජනයා ද මහත් බලාපොරොත්තුවෙන් සිටියි.

Share on Google Plus