" දිනේෂ් ගුණවර්ධන සමඟ මහ ඇමති ඉසුර මහරගම නටන නෛයනාඩගම..."(Exclusive-Lankadna).



කාලීන දේශපාලන සිදුවීම් පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් මේ වන විටත් 2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී 'මහරගම නගර සභාව' සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ බැවින් ස්වාධීන කණ්ඩායම් අංක 2 යටතේ මෝටර් බයිසිකලය ලකුණින් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් වී කොට්ඨාශ සියල්ලම ජයග්‍රහනය ලද බව දන්නා කරුණකි.

නමුත්,බොහෝ දෙනෙක් නොදන්නා සැඟවුණ දේශපාලන යතාර්ථයක් මේ පසුපස ඇත.මහජන එක්සත් පෙරමුණ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යනු,වර්තමාන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ දේශපාලන ගුරුවරයාය.එනම්,මහරගම ප්‍රාදේශිය සභාව සදහා පැවති ප්‍රථම මැතිවරණයේදී 'කරත්ත රෝදය ලකුණින්' මහජන එක්සත් පෙරමුණෙන් ඉසුර දේවප්‍රිය තරඟ කර පසුව මහරගම නගර සභාවේ සභාපතිවරයා බවටද පත්ව තිබේ.පසුව දේශපාලන කරණමක් ගසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉසුර දේවප්‍රිය එක්වී ඇත.

මෙම සිදුවීම නිසා දිනේෂ් ගුණවර්ධන මෙන්ම මහජන එක්සත් පෙරමුණේ බොහෝ දෙනෙක් තුළ ඉසුර දේවප්‍රිය පිළිබඳව යම් අප්‍රසන්නතාවයක් තිබුණද; කල්යත්ම මහරගම දේශපාලනය තුළ ජනතා ආකර්ශනය ලබමින් ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි උපාලි කොඩිකාර සහ කාන්ති කොඩිකාර දේශපාලන වශයෙන් මෙල්ල කිරීමටනම් දිනේෂ් ගුණවර්ධන සහ ඉසුර දේවප්‍රිය එකමුතුවක් මහරගම කේන්ද්‍රකරගෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ නිර්මාණය විය යුතු බවට සිතමින්දෝ බොහෝ අපහසුවෙන් හෝ මහජන එක්සත් පෙරමුණු ප්‍රබලයින් මේ වන විට ඉසුර දේවප්‍රිය ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සුහදව කටයුතු කරමින් යයි.

සැබෑ ලෙසම දේශපාලන විග්‍රහයානුකූලව මහරගම නගර සභාවේ 'පොහොට්ටුවේ' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය කාන්තාවකගේ ස්ත්‍රී පුරුෂ භාවය නොදක්වමින් ඕනෑකමින් දිනේෂ් ගුණවර්ධන පාර්ෂවය විසින් ප්‍රතික්ෂේප කරගත් තත්වයක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.එය දීර්ඝ කාලීන දේශපාලන න්‍යාය පත්‍රයක උපාය උපක්‍රමයකි.යම් හෙයකින් 'පොහොට්ටුවෙන්' මහරගම නගර සභාවට ඉදිරිපත් වූවානම් මහරගම නගර සභාවේ සභාපති ධුරය ජයග්‍රහනය ලද හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර වෙත හිමි වීම ඒකාන්තය.එසේ සිදුවූවා නම් මහරගම තුළ යළිත් කොඩිකාර පවුලේ දේශපාලන බල කේන්ද්‍රයක් නිර්මාණය වේ.එය මීළඟ බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජාතික දේශපාලනයට රන්කිරි කටගෑවීමට නියමිත යදාමිණී ගුණවර්ධන හෙවත් දිනේෂ් ගුණවර්ධනයන්ගේ එකම ප්‍රත්‍රයාගේ දේශපාලන ගමනට මහරගම ඡන්ද කුටිටිය ලබා ගැනීමේදී බාධාවක් වීම නියතය.

ඉතාම උපාය උපක්‍රමශීලී වූ දිනේෂ් ගුණවර්ධනයන් ස්වාධීන කණ්ඩායම් අංක 2 හෙවත් මෝටර් බයිසිකලය තම මහජන එක්සත් පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ජගත් පතිරණගේද උදව් ඇතිව තම ලේලිය වූ (යදාමිණි ගුණවර්ධනගේ බිරිද.) සමන්මලී සකලසූරියගේත් උදව් ඇතිව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 'බඩල්ගම කොට්ඨාශයේ' පවුල් කිහිපයක පුද්ගලයින්ගේත්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපයකගේත් නම් ඇතුළත් කරමින් නිර්මාණය කර අදාළ සියල්ලෝගෙන්ම ඉල්ලා අස්වීමේ ලිපි පවාද මැතිවරණය පැවැත්වීමටත් පෙර ලබාගෙන තිබූ බව අනාවරණය වී අවසන්ය.

මහරගම නගර සභාවේ කොට්ඨාශ 25 ම ජයග්‍රහනය ලද ස්වාධීන කණ්ඩායම් අංක 2 හෙවත් මෝටර් බයිසිකල් කණ්ඩායමේ නායක ටිරාජ් ලක් රුවන් පියරත්න නම් කිසිදු පරිපාලන අත්දැකීමක් නොමැති තරුණයෙකු මහරගම නගර සභාවේ සභාපති ධුරයට පත් විය.උප සභාපති ධුරයට රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නම් වයස අවුරුදු 80 ඉක්මවූ වයෝවෘධ දැඩි අසනීප තත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් පත් විය.

වර්තමාන තත්වය වී ඇත්තේ මන්ත්‍රීවරුන් 6 දෙනා බැඟින් අස් වෙමින් මහරගම නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි දිනේෂ් ගුණවර්ධනට හිතවත් පුද්ගලයින් 6 දෙනා බැඟින් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරවලට පත් කරවීමයි.ඉන් බොහෝ දෙනෙක්ද ප්‍රථම වරට නාගරික මන්ත්‍රීවරුන් වන අත්දැකීම් රහිත පුද්ගලයින් වේ.කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් මත හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය හටද නාගරික මන්ත්‍රී ධුරයක් පිරිනැමීමට දිනේෂ් ගුණවර්ධන පාර්ශවයට සිදු වී ඇත.

'පළාත් පාලන මැතිවරණ පනත 66 (ආ) 1 ආ කණ්ඩායම් අංක 5 යටතේ වන මැතිවරණ නීති' අමු අමුවේ උල්ලංඝනය කරමින්, සමාජ ආචාර ධර්ම හර පද්ධතීන් පවාද නොසළකා හරිමින් දිනේෂ් ගුණවර්ධනයන්ගේ හිතු මනාපයට සිදු වන මේ සියලු ක්‍රියාදාමයන් හමුවේ ගොළුවත රකිමින් ඊට තම සහායද ලබා දෙන වර්තමාන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය/ තාවකාලික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායක ඉසුර දේවප්‍රිය තම තනතුරට වෙන් වූ මූල්‍ය ප්‍රතිපාදන පවා හිතූමනාපයට නගර සභාවට අයත් මාර්ග ප්‍රමිතියෙන් තොරව කාපට් යොදමින් ටිරාජ් ලක් රුවන් පියරත්න මහරගම නගර සභා සභාපතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනඟන කාර්ය අකුරටම සිදු කරමින් යයි.

කෙසේ වෙතත් මහරගම නගර සභා පරිපාලනය සම්පූර්ණයෙන් අඩාල වී අයාලේ යන තත්වයට පත් වී ඇත.කුණු කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය නැවතී ඇත.ඩෙංගු මර්දනය කර ගැනීමට පවා අපෝසත් සභාපතිවරයා ප්‍රජා සංවිධාන කැඳවමින් හඬා වැළපෙන තත්වයක් නිර්මාණය වී ඇති බවටද අනාවරණ‍ය වේ.

සමස්ත රට පුරාම පොහොට්ටුව හෝ වෙනත් ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහනය ලද පළාත් පාලන ආයතන රැසක පරිපාලන අර්බුද මතු වී පාලනය ඉදිරියට ගෙන යා නොහැකි තත්වයට මාස ගනණක් තුළ පත්වීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ සභිකයින්ගේ සහජ දක්ෂතාවය මැනවින් රට හමුවේ ඔප්පු කරන බවක් පෙනෙන්නට තිබේ.

ඡන්දදායක ජනතාව මීට වඩා බොහෝ බුද්ධිමත් විය යුතුය.කිසියම් ජනප්‍රිය නායකයෙක් කී පළියට තම නියෝජිතයින් තෝරාපත්කරගැනීමෙන් වැළකිය යුතුය.උගත්කම,බුද්ධිමත්කම,විනයගරුකකම,කාර්යශූරබව,අවංකකම යන මේ සියල්ලම සොයා බලාවත් මීළඟ මැතිවරණ වලින් නියෝජිතයින් තෝරාපත් කරගෙන රෑ වැටුණ වළේ,දවල් ද වැටී සවසත් වැටීමෙන් වැළකිය යුතුය.









නිදහස් මාධ්‍යවේදී / නීති ශිෂ්‍ය ඉෂාර ලක්මිණ පීරිස්.




Powered by Blogger.