කුරුඳ පොලු නඩුවට රනිල් පටලැවීමට මහින්දගෙන් කුමන්ත්‍රණයක්?


2013 වසරේ ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේදී ඇති වූ ගැටුමට අදාල නඩුව ලබන සඳුදා (30) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය. මෙම නඩුවේ සැකකරුවෙකු වන එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර එදින නඩු විභාගයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මෙම ගැටුමෙන් ටික කලකට පසු එජාපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අතර ඔහු මේ වනවිට දකුණු පළාත් සභාවේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරයි. අදාල සිදුවීමේදී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර එජාප නායකයා වෙනුවෙන් පෙනී සිටි අතර මෙම ප්‍රහාරය අතරතුර ඔහු වෙඩි ප්‍රහාරයකට ද ලක්විය. සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ එම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ රනිල් විරෝධී කණ්ඩායමෙන් බවයි.

කුරුඳු පොලු ගැටුමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පටලැවීම සඳහා මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා ඔහු යොදාගෙන ඇත්තේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පළාත් සභා මන්ත්‍රීවරයාය.

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව, ඔහුට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් පා ගමනක නිරත වූ පිරිසක් සහ එජාප නායකයාට පක්ෂපාතී කණ්ඩායමක් අතර මෙම ගැටුම හටගත්තේය. ඒ අනුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සූදානම්ව සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම විසින් පාගමනේ පැමිණි රනිල් විරෝධී කණ්ඩායමට පහර දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම සහ උපදෙස් මත බව අධිකරණයේදී ප්‍රකාශ කිරීමටයි. ඒ හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නඩුවට පටලැවීම සඳහා ඔවුන් උත්සාහ ගනිමින් සිටී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු එජාප සාමාජිකයන් 60 කට චෝදනා එල්ල වී ඇති අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙම පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැත. මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ කෙසේ හෝ අගමැතිවරයා මේ සඳහා පටලැවීමයි. ඒ සඳහා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඉත්තෙකු ලෙස භාවිතා කරමින් සිටින අතර එදා රනිල් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි ක්‍රිෂාන්තලා මහින්දගේ ගැටවලට හසු වී රනිල් වික්‍රමසිංහ මහතාට බොරු චෝදනා එල්ල කරමින් ඔහුව මෙම නඩුව සඳහා පටලවා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටී.
Powered by Blogger.