මරණ දඬුවම් නියම වූ සර්පයාගේ FB ගිණුම සක්‍රීයයි

ද්විත්ව පුද්ගල ඝාතනයකට මරණීය දණ්ඩණය නියම වී ඇති හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී  මුහම්දිරම්ලාගේ හසිත සමන්ත නොහොත් 'සර්පයා' නැමැත්තා  බන්ධනාගාර ගතව සිටියදී  ඔහුගේ ෆේස්බුක් ගිණුම බාධාවකින් තොරව යාවත්කාලීන වන බවට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද පැමිණිලි කර සිටියේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව  විත්තිකරුට බන්ධනාගාරයේ දී ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇත්ද යන්න පිළිබඳ පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කලේය.
ඒ මෙම විත්තිකරුට එරෙහිව 1999 වර්ෂයේ වෙනත් ද්විත්ව ඝාතනයකට අදාළව නඩුවක් කැඳවු අවස්ථාවේදියි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ කළමනාකාරිත්වය සමග සම්බන්ධවී කුමන ස්ථානයක සිට ඔහුගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කරන්නේද යන්න විමර්ශනයක් සිදු කරන ලෙසට මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ ස්ථානාධිපතිවරයාට ද නියෝගයක් නිකුත් කර තිබේ.
මහාධිකරණය මෙම නියෝග නිකුත් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමේන් අනතුරුවයි.
Share on Google Plus