මහපොළ අහෝසියි : ලහිරු වීරසේකරට විජයදාසගෙන් අභියෝගයක්!


එවකට වෙළඳ අමාත්‍ය ලලිත් ඇත්ලත්මුදලි මහතා විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් භාරකාර ඔප්පුවකින් ආරම්භ කරපු මහපොළ භාරකාර අරමුදල එතුමාට කරන ගෞරවයක් ලෙස  ‘ලලිත් ඇතුලත්මුදලි’ භාරකාර අරමුදල වශයෙන් නම් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බිලියන 2.5ක අහිමි වීමක්

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ඊයේ (31) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'ඒවගේ ම 2003 වසරේ එවකට විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රධාන අරමුදල කළමනාකරණය සඳහා මහපොළ භාර අරමුදල යටතේ උප සමාගම් දෙකක් ආරම්භ කළා. ඒ සමාගම්වලට මහපොළ අරමුදල් කළමනාකරණයට බලය ලබා දුන්නා. එතැන් පටන් අරමුදලේ කටයුතු භාරකරුවන්ගේ අධීක්ෂණයෙන් තොර වුණා. කළමනාකරණ ගිවිසුමක් මඟින් යම්තාක් දුරට අරමුදල ආරක්ෂා වුවත් අරමුදලේ භාරකරුවන්ට එම සමාගම්වල ක්‍රියාකාරිත්වය සෘජුව මැදිහත් වීමට නොහැකි වුණා. ඒ අනුව එම සමාගම් 02 හි ක්‍රියාකාරිත්වය තුළින් මහපොළ අරමුදලට සෘජු හා වක්‍රව රුපියල් බිලියන 2.5 ක ආදායමක් අහිමි වී ගියා.'

'ඒ අනුව NWCL සමාගම ඈවර කිරීම,  මහබැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකු වන NWSL සමාගමේ කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමටත් අමාත්‍යංශ අනුමැතිය ලැබී  තිබෙනවා. බිලියන 8.5 කට ආසන්න අරමුදලත් රුපියල් බිලියන 1.5 ක් වන භාණ්ඩාගාර බැඳුම්කරවල හා රාජ්‍ය බැංකුවල ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබෙන මුදලත් සමඟ රුපියල් බිලියන 10 ක් වන මුළු අරමුදල සුරක්ෂිත කොට ගෙන තිබෙනවා.'

SLIIT  ආයතනයට අයිතිකාරයෙක් නැහැ

'මාලඹේ SLIIT ආයතනය 1999 දී ආරම්භ කළා. මේකේ පළමු ගොඩනැඟිල්ල හදන්න මහපොළෙන් ආයෝජනයක් විදියට මිලියන 300ක් දුන්නා. අයිතිය මහපොළට තිබුණත් පාලනය කරන්න සමාගමයක් හදලා තිබුනා. මෙහෙයුම් පරිපාලනය කළේ ඒ සමාගම විසින්. 2015 දී මේ ආයතනය මහපොළෙන් ඉවත් කරලා මහපොලට මිලියන 408 ක් ගෙවලා එය සම්පූර්ණ පැවරීමක් එම සමාගමට කරල තියනවා. මේ ඉඩම මහපොළේ ඉඩමක් නිසා වාර්ෂිකව රුපියල් මිලියන 20ක බදු මුදලක් ගෙවන්න අත්සන් කරලා තියෙනවා. රජයේ ආයතනයක් විදියට ආරම්භ කරපු ඇපකරුවන් සහිත සමාගමේ හිටපු සාමාජිකයන් රජයේ නිලධාරීන්. අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාම රජයේ නිලධාරීන්. අද කිසිම රජයේ නිලධාරියෙක් නැහැ. සභාපති, අධ්‍යකෂවරු කීපදෙනෙක් ම ඉනනවා. ඒ අය පවරා ගැනීමෙන් පසු පඩි වැඩිකරගෙන තිබෙනවා. අද වනවිට මාලඹේ SLIIT ස්ලිට් ආයතනයට අයිතිකාරයෙක් නැහැ. ළමයි 7000ක් ඉගෙන ගන්න තැනට අයිතාකාරයෙක් නැහැ කියනවා. සීමිත වගකීම් සහිත අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නේ. මේ ඉඩමේ වටිනාකම හැර මෙහි වටිනාකම අවම වශයෙන් මිලියන 20 000ක්වත් වෙනවා. මිලියන 400කට පවරලා තියෙන්නේ ඒ වටිනාකමයි.  සීමිත සමාගමේ අධ්‍යක්ෂවරු වගකීම ගන්නේ නැහැ. ඒ එක්කෙනෙක් ආයෝජනය කරලා තියෙන්නේ රු.1000ක වටිනාකමක්. ඒ නිසා කැබිනට් පත්‍රයක් ගේනවා පැවරීම අවලංගු කරන්නත් වගකිවයුතු රජයේ නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත් කරන්නත් ඒ යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ නිපුණතා ඇති අය ඇතුළත් කරලා පාලක මණ්ඩලයක් පත් කරලා මේ ආයතනය පවත්වාගෙන යන්නටත්.'

ලහිරු වීරසේකරට අභියෝගයක්

'ලහිරු වීරසේකර උද්ඝෝෂණ 1000 ක් කළත් ආණ්ඩුව ගන්න ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙනස් කරන්නේ නැහැ. මෙච්චරකල් උද්ඝෝෂණය කරලා මොනවද අරන් දුන්නේ. අපි ළමයින්ට වැඩි වැඩියෙන් විශ්වවිද්‍යාල විවර කරලා දෙනවා. ඔය අන්තරේ මැදිහත් වෙලා සිසුන්ගේ පන්ති තහනම් කීයක් වසරකට කරලා දෙනවද ?'

'ඒවගේම උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ තත්ත්වය ප්‍රතීතනය කිරීමේ කොමිෂන් සභාව ඉදිරි සති දෙක ඇතුළත ගේනවා.'

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, මහපොල අරමුදලේ පරිපාලන අධ්‍යක්ෂ පරාක්‍රම බණඩාර, කේසරලාල් ගුණසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

(LNW)

Share on Google Plus