රජයේ ආයතනවල පාඩුව තවදුරටත් ඔබ ගෙවනවාද ?

කිනම් ආණ්ඩුවක් බලයෙහි පැවතුනාද රජයට අයත් බොහෝ රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබන බවනම් නොරහසකි. 

මෙසේ අධික පාඩු ලබන රජයේ ආයතන රටේ ආර්ථිකයට බරක් වී ඇති අතර අවසානයේ මෙම පාඩු ගෙවීමට සිදුවන්නේ මහජනතාවයි. 

ඔබ දන්නවාද ඉතා දිලිදු පුද්ගලයෙක් තම බිලිදාට මිලදී ගන්නා කිරිපිටි පැකැට්ටුවට අවම වශයෙන් රු. 87 ක්  වැට් බදු වශයෙන් රජයට ගෙවා ඇති බව රජයේ ආයතනවල පාඩු ගෙවාදමන්නේ මෙසේ මහජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදලිනි. 

රජයේ ආයතනවල ආකර්යක්‍ෂමතාවයට බොහෝදුරට හේතුවී ඇත්තේ දුර්වල කළමනාකරණයයි. 

ඊට එක් හේතුවක් වන්නේ ආයතනවල ඉහළ තනතුරු සඳහා නිසි පුද්ගලයන් තෝරා නොගැනීමයි.

දැනට පවතින සමහර රාජ්‍ය ව්‍යාපාරවල ඉහළ කළමනාකාරිත්වය සහ සේවක මණ්ඩලයෙහි තනතුරු ඇතැම්විට දේශපාලනික මැදිහත්වීම් හරහා පත්කරනු ලබන බවත්, මෙම ආයතනවල අරමුදල් බොහෝ අවස්ථාවලදී අවභාවිතාවට ලක්වෙන බවත් නොරහසකි.

ADVOCATA සමීක්ෂණ වාර්තාවක දක්වන පරිදි 2009 සිට 2014 දක්වා කාලය තුල රජයට අයත් ව්‍යාපාර ගණන 107 සිට 245 දක්වා වැඩිවී ඇති අතර එ්වායෙහි සේවක සංඛ්‍යාව 140,500 සිට 261,683 දක්වා වැඩිවී ඇත. 


කෙසේ වුවද 2006 සිට 2015 දක්වා කාලය තුල ප‍්‍රධාන රජයේ ව්‍යාපාර 55ක පාඩුව රු. බිලියන 636කි. 

එ් අනුව, හෙට දිනයේ දී මෙම පාඩුව ගෙවා දැමීමට නම් රටෙහි එක් පුද්ගලයෙකු දැරිය යුතු මුදල රු. 31, 750කි.

මෙසේ තවදුරටත් රජයේ ආයතනවල පාඩු දරන්නට ඔබ සුදානම් ද? එසේ විය යුතු නැත. 


විය යුත්තේ රජයේ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන එ්මට අවශ්‍ය පියවර ගැනීමයි. 

මෙය රටේ දේශපාලනඥයෙන් ගේත්, පොදු මහජනතාවගේත්, මාධ්‍යයේත් වගකීමකි.

මෙසේ පාඩු ලබන රාජ්‍යය ආයතනවල ජාත්‍යන්තර ප‍්‍රමිති වලට අනුකූල ආයතන පරිපාලන ක‍්‍රමවේදයක් (Corporate Governance) ස්ථාපනය කල යුතුය. 


කාර්යක්‍ෂම හා ඵලදායී රාජ්‍ය අංශය යනු ආර්ථික අභිවෘද්ධිය සඳහා උරදිය හැකි යහපාලන ක‍්‍රමවේදයක් සඳහා පදනමයි. 

දේශපාලනීකරණය ඉවත් කිරීම මගින් රාජ්‍ය අංශයද පෞද්ගලික අංශය මෙන්ම කාර්්‍යක්ෂම මට්ටමකට ගෙන ආ හැකිය. 

රාජ්‍ය ව්‍යාපාර ප‍්‍රතිසංස්කරණය සඳහා ගෙන ආ යුතු කඩිනම් නිර්දේශයන්ගෙන් යුතු වර්තාවක් ජාතික මානව සම්පත් සංවර්ධන සභාව (NHRDC) හා වෘත්තීය සංගම් සංවිධානය (OPA) ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව රාජ්‍යය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සභාපති තෝරාගැනීමේදී නාමයෝජනා ක‍්‍රමයක් තුලින් විධිමත්ව, සුදුසුකම් සහිත වෘත්තියකයන් තෝරාගත යුතු බව යෝජනා කර ඇත. 


මෙම තනතුරු මෙන්ම කාර්යමණ්ඩලය ද දේශපාලනික පත්වීම් නොවිය යුතු අතර සුදුස්සන්, කුසලතාව අනුව තනතුරු සඳහා තෝරාගත යුතු බව යෝජනා වී ඇත. 

මෙම පත්වීම්, දේශපාලනික පත්වීම් නොවන තාක්කල් රජයක වෙනස්වීම් මත මෙම තනතුරු දරන්නන් වෙනස් නොවේ. 

එය ආයතනයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත්ය.


ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම්, පුරවැසියන් දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍යවලට වැදගත් කාර්යභාරයක් පවතින අතර පුරවැදියන්ට ද උදාසීන නිරීක්ෂකයන් ලෙෂ දිගටම බලා සිටිය නොහැකිය. 

රාජ්‍යය ආයතනවලට නිසි පාලන ක‍්‍රමවේදයන් හඳුන්වා දීමට දේශපානඥයින්ට බලපෑම් කිරීම අවශ්‍යයෙන් කළයුතුය. 

අන් අවස්ථාවලදී තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින ආකාරයෙන්ම මෙම ගැටළුවේදී ද පුරවැසියන් වශයෙන් අප සැම රටෙහි අනාගතය වෙනුවෙන් නැගී සිටිය යුතු වෙමු.
Share on Google Plus