මෛත්‍රී ව්‍යවස්ථාව උල්ලංඝනය කළේද? : විශේෂ පැහැදිළි කිරීමක්.

හදිසියේ ජනාධිපති මිය ගියහොත් හිටපු ජනාධිපති මහින්දට යළි ජනාධිපති වීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නැති හෙයින් මෛත්‍රීගේ තීන්දුව හිතා මතා හෝ නොදැනුවත්කමින් නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයක් පමණක් නොවේ, ව්‍යවස්ථාව උල්ලංඝනය කොට රටේ ස්වෛරීත්වය සහ මහජන ආරක්ෂාව අකුලේ හෙළීමකි.

විශේෂ දේශපාලන ලියුම්කරුවෙකු විසිනි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා ගත් අරුම පුදුම දේශපාලන තීන්දුව, එනම් සේවයේ යේදී සිටින සහ පාර්ලිමේන්තු බහුතරය ඇති බව ඔප්පුකොට ඇති අගමැතිවරයකු රාජකාරී කරන අවස්ථාවකදී නිල වශයෙන් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා නොමැති අයෙකු අගමැති කිරීම, සම්බන්ධයෙන් විවිධාකාර මත ඉදිරිපත් වෙමින් තිබේ. ඔහුගේ තීන්දුවට පක්ෂපාතී මෙන්ම එරෙහි අදහස් රාශියක් ඉදිරිපත් වෙමින් තිබේ. මෙය ගැඹුරින් අධ්‍යනය කිරීම සඳහා නිර්මාණය වී ඇති අතිශය වැදගත් සිදුවීමක් වන අතර මෙරට දේශපාලන ඉතිහාසයේ පෙරදා නොවූ කාරණයකි. ඒ නිසා මෙය අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වේ.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ලියනු ලැබූ ලිපිය ඔස්සේ අවධාරණය ව්‍යවස්ථානුකූල කරන කාරණය නිවැරදිය. හෙතම එහිදී සඳහන් කර ඇති ව්‍යවස්ථාවේ වගන්ති උපුටනයද නිවැරදි වන්නා සේම බැලු බැල්මට එහිදී ව්‍යවසතාව උල්ලඝනය කිරීමක් සිදු වී නැතැයි යමෙකුට සාධනීයව තාරක කළ හැකිය. නමුත් මෙහිදී සලකා බැලිය යුතු කාරණා රාශියක් තිබේ. එසේම නෛතිකමය වශයෙන්  රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ව්‍යවස්ථාව යනු සමස්ථ ලියවිල්ල වන අතර, එය 44 හෝ වෙනයම් විශේෂ වගන්තියකට පමණක් සීමා නොවේ.

එසේම කිසියම් වැදගත් පත් කිරීමක් සිදුකරන අවස්ථාවකදී සමස්ථ ව්‍යවස්ථාවම සැලකිල්ලට ගත යුතු අතර එය සමග සෙල්ලම් කිරීමට කිසිවකුට අයිතියක් නැත. එය ජනාධිපතිවරයාටද පොදු කාරණයක් මෙන්ම ඔහු හමුවේ ජනතාව විසින් පවරා ඇති වගකීමක් වේ. මන්ද, ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දීමේදී සිදුකරන පළමු පොරොන්දුව වන්නේ, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරමින් එය දිවි හිමියෙන් ආරක්ෂා කරණ බවය.

මෙම සමස්ථ සිදුවීමේදී ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශකයින් නොසලකා හැර ඇති මූලික නෛතික කාරණයක් තිබේ. එය රටේ ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ හැකි කාරණයකි.  එය මූලික කර‍ගෙන ජනාධිපති සිරිසේන මහතා ව්‍යවස්ථාව උල්ලඝණය කොට ඇති බවට ඉතාම ශක්තිමත් තර්කයක් මතු කිරීමේ පදනමක් තිබේ.  ඒ කුමක්ද?

එනම්, අනපේක්ෂිත අවස්ථාවකදී ජනාධිපතිවරයාට අනතුරක් සිදු වී හෝ ස්වභාවිකව මියගිය හොත් රටේ  ජනාධිපතිවරයා වීමට  ව්‍යවස්ථානූකූල අයිතිය ඇත්තේ අගමැතිවරයාටය. එනම් තමන් අගමැතිවරයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයාගේ මූලික වගකීම වන්නේ, ඊට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි සිතන තැනැත්තා පමණක් නොව, තමන්ට අනතුරක් වුවහොත් රටේ ජනාධිපතිධූරය දැරීමට සුදුසු පුද්ගලයාද විය යුතුය.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීම ඔස්සේ මතුවන නෛතික ගැටලු වලින් ප්‍රධාන එකක් වන්නේ එයයි.

එනම් මහින්ද රාජපක්ෂ මහතා, මෙරට ජනාධිපති ධූරය දෙවරක් හොබවා ඇත. ඔහුට මෙරට යළිත් ජනාධිපති වීමේ නීතියානුකූල හැකියාවක් නැත. ඒ අනුව,  ජනාධිපති සිරිසේන මහතා මෙහිදී හිතා මතා හෝ නොදැනුවත්ව ව්‍යවස්ථාවේ මූලික කාරණයක් නොසලකා හැර ඇත. එම නොසලකා හැරීම ව්‍යවස්ථා උල්ලංඝණය කිරීමක් වේ. එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රටේ පුරවැසියෙකුට ඉදිරිපත් කළ හැකි බරපතළ විලාපයකි. ඊට ගරු අධිකරණය වහාම මැදිහත් විය යුතු කාරණයකි.

විශේෂයෙන්, මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් ගැන මේ වන විට විශාල මතවාදයක් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. එවැනි වටපිටාවක රටේ ව්‍යවස්ථාව දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට පොරොන්දු වූ ජනාධිපතිවරයාට රටේ ස්වෛරීත්වය සහ පොදු මහජන ආරක්ෂාව නොසලකා හැරිය නොහැකිය. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා පත්කර ගත යුත්තේ, ජනාධිපති වීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කොට ඇති අගමැතිවරයෙකු මිස ව්‍යවස්ථාවෙන්, ඒ සඳහා සිදුසුකම් නැති අයෙකු නොවේ.

මෙය රටේ ව්‍යවස්ථාව බරපතළ ලෙස අපහරණය කිරීමක් වන බැවින්,  ජනාධිපතිවරයාගේ තීන්දුව ඔහුගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඉතාම හානි කර ලෙස බලපෑමට ඉඩක් තිබේ.

කළ යුතුව තිබුණේ කුමක්ද?

ජනාධිපතිවරයා, වතමන් අගමැතිවරයාට එරෙහිව අදාළ තීන්දුව ගැනීමට මදක් කලබල වූ ස්වරූපයක් පෙන්නුම් කරනු ලබයි. කිසිවකු හෝ මෙම කාරණයෙන් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සමස්ථ දේශපාලන ව්‍යායාමයම අපුලේ  හෙලා ඇත. ජනාධිපතිවරයා වත්මන් අගමැතිවරයා සමග අසතුටෙන් පසුවන බව රහසක් නොවේ. එසේම දෙදෙනාම තම තමන්ගේ දේශපාලන බලය එකිනෙකාට එරෙහිව ශක්තිමත් කර ගනිමින් සිටින්නෝය. එපමණක් නොවේ. ජනාධිපතිවරයා තම අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ මෙම දේශපලන සැලැස්මේ රාමුව ඉතා ආකර්ශනීය වේ.

නමුත් එය කළ යුතුව තිබුණු අවස්ථාව සහ ක්‍රමය මෙය නොවේ.

ඒ සඳහා මාර්ගය පාදා ගත හැකිව තිබුණු ක්‍රමයක් තිබුණි. එනම්, පළමුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා , දේශපාලනික වශයෙන් ඉහළ ගරුත්වයක් හිමි කරගෙන සිටින චමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයෙකු අග්‍රාමාත්‍යය ධූරයට පත් කිරීමය. ඉන්පසු ව්‍යවස්ථා සංශෝධනයකට ගොස් නෛතික රාමුන්  සකස්කොට මහින්ද රාජපක්‍ෂට අවස්ථාව ලබා දීමය.  එය ඉතාම මැනවින් කිරීමට තිබුණු අවස්ථාවකි. එවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කිරීමට කිසිවෙකුට නොහැකිය. එය සිදු වූයේ නම්, නිර්මාණය වී ඇති වත්මන් ව්‍යාකූලතාවය ඇතිවන්නේද නැත.

ඒ ආකාරයෙන් ඉතාම වැදගත් ( ජනතාවගේ විරෝධය මධ්‍යයේ වුවද) ලෙස දේශපාලන සංශෝධන කළ අවස්ථා මෑත ඉතිහාසයේම තිබේ. බහු පක්ෂ ක්‍රමයක් නැති වුවද චීන ජනාධිපති ෂි ජින්පින්, තම බලය ස්ථීර කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය, මෙන්ම සෙවනැලි බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියත්මක වන රුසියාවේ පුටින් සිදු කළ දේශපාලන සංශෝධන මීට කදිම නිදසුන් වේ. මෙවැනි බරපතළ තීන්දු ගැනීමේදී අවම වශයෙන්, මෙම රටවල දේශපාලන ප්‍රවණතාවයන් හෝ අධ්‍යනය කොට තිබුණේ නම් මෙවැනි ආරවුල් සිදුවන්නේ නැත.   

මේ හේතුවෙන්, අදාළ පත්වීම සිදුකරන අවස්ථාවේදී පාර්ලිමේන්තු බහුතරය සැබෑ ලෙස පෙන්වීමට අසමත් වීම පමණක් නොව ව්‍යවස්ථාවේ බරපතළ වගන්ති හෑල්ලුවට ලක් කිරීමක් සිදු වී ඇති බැවින්, ගරු අධිකරණයේ පිහිට පැතීමට රටේ ඕනෑම සාමන්‍යය පුරවැසියෙකුට අයිතියක් තිබේ. ගරු අධිකරණය එය සලකා ජනාධිපතිවරයාගේ තීන්දුව බලරහිත කළහොත් එය ජනාධිපතිවරයාගේ දේශපාලනයේ දෛවෝපගත සිදුවීමක් බවට පත්වනු නොඅනුමානය.  එසේම ගරු අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීමේ මූලික වගකීමද  ජනාධිපතිවරයා හමුවේ පැවරී තිබේ.

කෙසේ නමුත්, පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට අවස්ථාව නොමැත්තේ නම්, ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ තම බලතල භාවිතා කොට රටේ ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක් තමන් වෙත පවරාගෙන, හදිසි ජනාධිපතිවරණයකට යෑමය. මන්ද, ඔහු අපේක්ෂකයෙක් වන අවස්ථාවකදී, ඔහුට ජනාධිපතිවරණයක් කලින් කැඳවීමේ හැකියාවක් තිබේ. ජනාධිපතිවරණය, අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලබා ගෙන ජයග්‍රහණය කරා ගොස් තමන්ගේ දෙවැනි වාරය සහතික කර ගැනීමේ අවස්ථාවක් තිබුණි.

මෙම සමස්ථ සිදුවීම හමුවේ, අවාසනාවට මෙන් ලිහා ගැනීමට නොහැකි දේශපාලන පටලැවිල්ලක පැටලී  ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ  නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ස්වාධීනව ගොඩ නගාගෙන ආ දේශපාලන බලය ව්‍යවස්ථාවේ එක් වගන්තියක් භාවිතා කොට තම ග්‍රහණයට ගැනීමට ජනාධිපති සිරිසේන මහතා සමත් විය. රට හමුවේ ඔහු කෙරෙහි තිබූ මතය එක පැයෙන් වෙනස් කිරීම සඳහා ඔහුගේ ප්‍රමුඛ දේශපාලන සතුරා උපායසීලිව භාවිතා කිරීමට ජනාධිපතිවරයා සමත්විය.  නමුත් එම තීන්දුවේ මූලික අභිලාශය   තම දෙවැනිවාරය සහතික කරගැනීම වැනි ආත්මාර්ථකාමී  කාරණයක් නම්, නිර්මාණය වී ඇති ව්‍යවස්ථා අර්බුදය හමුවේ එය එතරම් පහසු වන්නේ නැත.

ඇතැම් මූලාශ්‍ර සඳහන් කරන ලෙස  ජනාධිපතිවරයා ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් වී තමන්ගේ ජනාධිපතිධූර පළමු වාරය අවසන් වන තෙක් පමණක්  බලයේ සිටීමට පමණක් සූදානම් වේ. නමුත් ව්‍යවස්ථාවේ නෛතික රාමුව අපහරණය කිරීම යටතේ එයද එතරම් පහසු කටයුත්තක් නොවන බව ඉතා පැහැදිලි වේ.

බැරිවෙලාවත්, ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉල්ලා සිටින මහමැතිවරණයකට ගියහොත් එහි සම්පූරණ අවාසිය අත්වන්නේ, ජනාධිපති සිරිසේන මහතාට පමණක් නොව පත්කොට ඇති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතය.

එසේම නොවැම්බර් 16 වන තෙක් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවස්නකොට කල් තැබීම තුළින්  ඔප්පු කරනු ලබන්නේ, ජනාධිපතිවරයා ලබාගත් තීන්දුවේ ඇති බරපතළ දුර්වලතාවයය. එය දේශපාලනික වශයෙන් විසඳා ගැනීම එතරම් පහසු වේයැයි සිතිය නොහැකිය. ඉදිරි දින කිහිපය තුළදී අමාත්‍යංශ වල තනතුරු වෙනස් කිරීම මෙන්ම එම අමාත්‍යංශ බලෙන් ලබා ගැනීමට ගියහොත් එය රට ගැන ගොඩ නැගී ඇති යහපත් චිත්ත රූපයට සැර පහරක් වනු නියතය.

විසඳුම කුමක්ද?

මීට ඇති විසඳුම කුමක්ද?  කනගාටුවෙන් නමුත් සඳහන් කළ හැකි එකම විසඳුම වන්නේ වත්මන් අගමැති වික්‍රමසිංහ මහතාට, අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට ඉඩදීම සහ නව අගමැතිවරයාගේ පත්වීම අවලංගු කිරීමය. එය කළද, ඇතිවන දේශපාලන ආරවුල විසඳීමට තවත් වසර ගණනාවක් යනු ඇත. 

තවත් මාස කිහිපයකින් පසු කළ යුතුව තිබූ කටයුත්තක්,  හදිසියේ කිරීමට යෑමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලන ව්‍යුහයම ඇදදමා ඇති බරපතළ තත්වය සුළුවෙන් තැකිය නොහැකිය. නොවැම්බර් 16 වන තෙක් අගමැති රනිල් වික්‍රමසිංහ, තම තනතුර ස්වෙච්ඡාවෙන් අතහැර නොගියහොත් සහ පාර්ලිමේන්තු බහුතරය පෙන්නුවහොත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලනික වශයෙන් ගැඹුරු අඝාදයකට තල්ලු වීම වැළක්විය නොහැකිය. අගමැතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සහ නව තනතුරු වලට පත් කිරීම එතරම් යහපත් තීන්දු තීරණ නොවේ. එය තම පෞද්ගලික වෛරයට මූලික තැන ලබා දෙමින් කටයුතු කිරීමක් ලෙස ගරු අධිකරණය හමුවේ පමණක් නොව ජනතා අධිකරණය හමුවේද මතු කළ හැකිය.

මෙහි අවසානය හමුදා කුමන්ත්‍රණයකට පවා රට තල්ලු වීමේ අවදානමක් තිබේ. මන්ද එළඹෙන සතියේදී ජනාධිපතිවරයා තම ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ කුසලතාවයන් හෑල්ලුවට ලක් කළ යුතු නැත. ඔහු  තම  දේශපාලන බලය ශක්තිමත් කිරීමට හැකියාවෙන් පිරි  අතිශය තීක්ෂණ බුද්ධියකින් හෙබි අයෙකි.

එසේම මෙම, සමස්ථ දේශපාලන ව්‍යාකූලතාව තම වාසියට හරවා ගැනීම සඳහා දෙමළ සන්ධානය  සහ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වුවහොත්, ජනාධිපති සිරිසේන මහතා හදිසියේ කළ මෙම තීන්දුව හේතුවෙන්  බරපතළ ප්‍රතිවිපාක වලට සමස්ථ රටටම මුහුණ දීමට සිදුවිය හැකිය.

ඇතැමෙකුට මෙසේ කිව හැකිය. එනම් මීට විසඳුම ඇත්තේ මෛත්‍රී -මහින්ද දේශපාලන මිත්‍රත්වය තුළ නොව රනිල් -මහින්ද පෞද්ගලික මිත්‍රත්වය තුළ පමණකි. එවැන්නකට පාර කැපුනහොත්, මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් දේශපාලන තීන්දුව ඉතාම බරපතළ ලෙස ඔහුට එරෙහි භූමරංගයක් වනු ඇත.

මෙය රට හමුවේ ඇති සංකීරණ මෙන්ම ඉතාම ප්‍රඥාවෙන් සලකා බලා තේරුම් ගත යුතු දේශපාලන කාරණයකි. මෙහි ඇති වාසිය වන්නේ රටේ ජනතාවට දේශපාලනික වශයෙන් පක්ෂ පාට භේදයකින් තොරව තම තමන්ගේ අයිතීන් තේරුම් ගැනීමට අවස්ථාවක් ලබා දී තිබීමය.

රටේ ජනතාව කිසිම අවස්ථාවකදී ප්‍රචණ්ඩත්වයට තල්ලු නොවීමට වග බලා ගැනීම සහ තම දෛනික ජීවිතයේ කටයුතු වලට අවදානය යොමු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් කාරණයකි. එය සෑම දෙනා හමුවේ පැවරී ඇති වගකීමකි.

Powered by Blogger.