කොමිසම සහ පොලිසිය ගැටේ - ලොක්කන්ගේ ස්ථාන මාරු අවලංගුයි

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කරනු ලැබ ඇත්තේ හෙට (01) සිට මාසයක කාලයක් සඳහා තාවකාලිකව ක්‍රියාත්මක වීමේ පදනම මතය.

සහකාර පොලිස් අධිකාරීවරුන් 27 දෙනකුට   2018 ඔක්තෝබර් 30 වැනි දා තමින් ද, තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 19 දෙනකුට සහ පොලිස් අධිකාරීවරුන් 07 දෙනකුට 2018 ඔක්තෝබර් 29 වැනි දා මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.

එම ස්ථාන මාරු නියෝග වල සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව 2018 නොවැම්බර් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතා මත මාසයක කාලයක් සඳහා ඔවුන් තාවකාලික පදනම මත අනියුක්ත කරන බවයි.

එම මාරුවීම් වලට අදාල නියෝගය නිකුත් කළ පසු පොලිස්පතිවරයා ඊට අනුමැතිය ගැනීම පිණිස ජාතික පොලිස් කොමිෂන් සභාවට යැවූ බව පොලිස් ආරංචි කියයි.

ඒ අනුව අද (31) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව සිදු කරනු ලැබ තිබූ එම ස්ථාන මාරුවීම් 53 වහාම අත්හිටුවන ලෙස නියෝග කර ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කර තිබිය දී හදිසියේ මෙම ස්ථාන මාරු කිරීම් කර ඇතැයි පෙලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මීට පෙර ද මෙලෙසම පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සිදු කළ ස්ථාන මාරු සහ වැඩතහනම් කිරීම් කිහිපයක් නතර කරන ලෙස පොලිස් කොමිසම නියෝග කර තිබිණි.  
කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්ගේ වැඩ තහනම් කළ අවස්ථාවේ දී පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරීන් වැඩ තහනම් කිරීමට හා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නැති බව පෙන්වා ඇතැයි ද, කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි (දැන් නියෝජ්‍ය පොලිස්පති) පාලිත සිරිවර්ධනට ස්ථාන මාරුවක් දීමට යන බව කියමින් නඩු පැවරූ අවස්ථාවේ නීතිපතිවරයා ද එය තහවුරු කර ඇතැයි ද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
Powered by Blogger.